ආණ්ඩුව ට බඩු මිල පාලනය කළ නොහැකි ද?

 කොරෝනා වසංගත ය හේතුවෙන් සිය දෛනික ජීවනෝපාය මාර්ග ඇණ හිට ඇති රටේ අති බහුතර ජනතාව මේ වනවිට සමස්තයක් ලෙස බඩු මිල ඉහළ

යාම නිසා මහත් අසීරුතාවට ලක්ව සිටිති. මෙම බඩු මිල වැඩි වීමට සාපේක්ෂව ජනතාවගේ ආදායම ඉහළ ගොස් නැති බැවින් ඔවුන් කබලෙන් ළිපට වැටෙන තත්ත්වයකට පත්ව තිබේ. කොරෝනා වසංගතය සමඟ රටේ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම මත වැටුප් වැඩි කිරීම යන සාධකය ප්‍රායෝගික නොවන බව ප්‍රායෝගික සත්‍යකි. එබැවින් මේ මොහොතේ ජනතාවට ලබාදිය හැකි පහසුම ප්‍රතිලාභය වනුයේ භාණ්ඩ මිල වැඩි නොකර යම් ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යෑමයි. ඒ සඳහා රජය ප්‍රතිපත්තිමය තීරණ වලට එළැඹිය යුතු අතර ඒවා ප්‍රයෝගික තලයේ ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය ට පාරිභෝගික අධිකාරිය යම් සාධනීය පියවරක් ගත යුතුව ඇත.

පසුගිය දිනවල භාණ්ඩවල මිල ඉහළ යෑම සලකා බැලූ කල වැඩියෙන්ම වැඩිවී ඇත්තේ සීනිය. මේ සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතාබහ ඇතිවී තිබෙන අතර සීනි මිල වැඩිවීමට එරෙහිව විපක්ෂයේ විවිධ පාර්ශ්ව රජයට එරෙහිව දැඩි වාග් ප්‍රහාර එල්ල කරමින් සිටින අයුරු දක්නට ඇත.

සීනි තොග මිල රුපියල් 80 ක් හා උපරිම සිල්ලර මිල 85 ක් ලෙසට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බව නිවේදනය කර තිබියදී සීනි ආනයනය කිරීමේ බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙන් රුපියල් කෝටි 1500 කට වැඩි බදු වංචාවක් සිදුවූ බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කරයි. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ බවත් ඒ වන විටත් සීනි මෙට්‍රික් ටොන් 90000 ක් ගෙනවිත් තිබුණු බවද පෙන්වා දෙන හෙතෙම කියා සිටී.

මෙම අවස්ථාවේදී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සීනි අපනයනකරුවන් දොළොස් දෙනකු සමඟ ගිවිසුම් ගතවූ නමුත් ඒ වන විට සීනි අපනයන කි‍්‍රයාවලියේ 65 දෙනකු නිරතව සිටි බවද කියා සිටී. ගිවිසුම් ගහපු කාලය පසුගිය අප්‍රේල් මාසයෙන් අවසන් වූ පසු සීනි මිල වේගයෙන් ඉහළ ගිය බවද ඒ අනුව මේ වනවිට වෙළෙඳපොළේ සීනි කිලෝ එකක සිල්ලර මිල රුපියල් 240 ක් දක්වා ඉහළ ගිය බවද හෙතෙම කියා සිටී. එය සත්‍යයකි. මේ වන රුපියල් 100 හෝ 115 හෝ වෙනත් කිිසිදු පාලන මිලකට සීනි මිලදීගත නොහැක. එනිසාම ප්ලේන්ටියේ සිට සීනි යොදා සාදන සෑම නිෂ්පාදනයකම මිල ඉහළ යෑමට එය හේතුවී තිබේ.

සීනි මිල ඩබල් වී ඊටත් වඩා ටිකක් වැඩිවීමට හේතුව සොයා ගැනීමට අදාළ පාර්ශ්ව කටයුතු කළ යුතුය. එපමණක් නොව සීනි මිල සැබෑ ලෙස ප්‍රායෝගිකව අඩුකරගත හැකි ක්‍රමවේදය පිළිබඳව සොයා බැලීමට අදාළ ඇමැතිවරුන් වහා කටයුතු කළ යුතුව ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව සීනි කිලෝවක් රුපියල් 92 ක මිලට ගෙන පාරිභෝගික ජනතාවට එය රුපියල් 98 ට ලබාදිය හැකි බවයි. සීනි කිලෝවකින් රුපියල් 100 කට අධික ලාභයක් ලබමින් ජාවාරම්කරුවන් වසරකට රුපියල් බිලියන 70 ක් පමණ උපයන බවද චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

විපක්‍ෂය න`ගන මෙම චෝදනාවලට රජයේ අදාළ පාර්ශ්ව පිළිතුරු දිය යුතුය. සීනි කතාවේ තිත්ත කතාව සමාජය හමුවේ හෙළිදරව් කර ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තකි.

මේ අතර වත්තල මාබෝල නීති විරෝධීව පවත්වාගෙන ගිය සීනි ගබඩාවක් පාරිභෝගික අධිකාරිය විසින් වටලන ලදී. එහිදී තිබූ සීනි මෙට්‍රික් ටොන් 4800 කට සීල් තැබීමට පියවර ගැණිනි. මේ අතර කෙරවලපිටිය සහ කිරිබත්ගොඩ ප්‍රදේශවල ද නීති විරෝධීව පවත්වාගෙන ගිය සීනි ගබඩා දෙකක්ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් වටලා තිබිණි. කිරිබත්ගොඩ ගබඩාවෙන් සීනි මෙටි‍්‍රක් ටොන් 800 ක් හා කෙරවලපිටිය ගබඩාවෙන් සීනි මෙට්ට්‍රික් ටොන් 4096 ක් සොයා ගැනුණු අතර එම ගබඩාද සීල් තැබීමට පාරිභෝගික අධිකාරිය පියවර ගත් බව මාධ්‍ය නිවේදනයකින් සනාථ කර තිබේ. කවුරුන් හෝ වෙළෙඳපොළේ සීනි හිඟයක් ඇති කරමින් පාරිභෝගිකයන් සූරා කෑමට පියවර ගන්නේ නම් ඒවා නැවැත්වීම අදාළ බලධාරීන්ගේ යුතුකමකි. එසේම වෙළෙඳපොළ තුළ සීනි මිල වැඩිකිරීමේ අරමුණෙන් යම් පිරිසක් ක්‍රියා කරන්නේ නම් ඒවා නැවැත්වීමද, වැඩිවී තිබෙන සීනි මිල පාරිභෝගිකයාට දරා ගැනීමේ මට්ටමට ගෙනඒමට රජයට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට නොපමාව කළ යුතුව ඇත. මැතිවරණ යට පෙර පැවති රජය යටතේ බඩු මිල ඉහළ යාම ගැන එවකට විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශ ජනතාවට අමතක නැත. ගෝලීය සාධක මත ශ්‍රී ලංකාව තුළ බඩු මිල ඉහළ යාම පාලනය කර ජනතාවට සහන සැලසිය නොහැකි නම් එවන් ආණ්ඩුවකින් පලක් නැතැයි එදා ඔවුන් කළ ප්‍රකාශ දැන් බලයේ සිටින විටද අදාල බව තරයේ සිහිපත් කළ යුතු ය.

දිල්ශාන් කීර්තිසර
31/08/2021