'දේශපාලනික සමලිංගිකභීතිකාව'

අපි මුලින්ම ඉරාජ් ගැන කතා කරමු.

ඉරාජ් වීරරත්න සංගීත කේෂේත්‍රයේ සහ සමාජ ජාල වෙබ් අඩවිවල තරුණ ආකර්ෂණය දිනා ඇති පුද්ගලයෙක්. ජනතාව අතර කතා බහට හෝ විරෝධයට ලක්විය හැකි විවිධ ජනප්‍රිය මාතෘකා ගෙන ඔහු කරන ඔහුගේ නිර්මාණ තරුණ තරුණියන් අතර මාර්කට් කිරීමට ඔහු මහත් උත්සාහයක් ගන්නවා. ඉන් එක් නිර්මාණයක් වන්නේ බිකිනි හැඳගත් තරුණියන් දෙදෙනෙකු ශෘංගාරාත්මකව හැසිරෙන රූපරාමූ සහිත මියුසික් වීඩියෝවයි. සමහරු එය සමලිංගිකත්වය පිලිබඳ වීඩියෝවක් කියා කියද්දී සමහරු එය ස්ත්‍රී ලිංගිකත්වය මාර්කට් කළ පහත් පෙළේ නිර්මාණයක් යැයි විවේචනය කළා. රසිකයින් ලක්ෂ සංඛ්‍යාත ගණනක් සිටි ඔහුගේ Facebook පිටුව Facebook සමාගම විසින් වසා දැමුණ බව පහුගිය සමයේ කතාබහට ලක් වුනා. ඉරාජ් පැවසුවේ එය දේශපාලනඥයින්ගේ ක්‍රියාවක් බවයි. YouTube හීද ඉරාජ්ට ලක්ෂ ගණනක් රසිකයන් සිටිනවා.

අප සැම විටම රාමුවෙන් එහා සිතිය යුතු බව හා ලෝකය සමඟ වැඩියෙන් ගනුදෙනු කළ යුතු බව නිතර වේලේ පවසන ඉරාජ්, සමලිංගික, ද්වී ලිංගික හා සංක්‍රාන්ති සමාජභාවී ශ්‍රී ලාංකික පුරවැසියන්ට තම සහයෝගය දක්වන බවත්, සමලිංගිකත්වය නීතිගත ගත කළ යුතු බවත් 2017 වසරේ වරින් වර ප්‍රකාශ කළා. ඒ වත්මන් රජය මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365(අ) වගන්ති ඉවත් කරන මෙන් සඳහන් කළ යෝජනා මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉවත් කිරීමට තීරණය කළ 2017 ජනවාරි මාසයෙයි. නමුත් පසුගිය අගෝස්තු 23වන දින සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් හෝ එසේ යැයි හඟවන පුද්ගලයින් සමඟ ගවුමකින් සැරසී සිටින ඉරාජ්ගේ ඡායාරූපයක් පළ කොට තිබුනා. එහි දමා තිබුන සටහන අනුව යම් දේශපාලනය පක්ෂයක නමක් සඳහන් කර තිබීමෙන් එය දේශපාලනික අරමුණු වෙනුවෙන් දමා තිබෙන පොස්ටුවක් බව පැහැදිලිව පෙනුනා. එසේ කළේ තමන් විසින් කළ ප්‍රතිවාදී පක්ෂය 'උපහාසයට' ලක් කරන ගීතයක් හඳුන්වා දීමට විය හැකියි.

➡️ මාධ්‍ය හිමිකාරීත්වය සහ පක්ෂ දේශපාලනය

ඉරාජ් කලකරුවකට වඩා සමාජ මාධ්‍යයේ ප්‍රේක්ෂකයන් ගණනාවක් සිටින චැනල් සහ පිටු හසුරුවන මාධ්‍ය අයිතිකරුවකු ලෙස හඳුනා ගැනීම වඩාත් සුදුසුයි. ඔහු ඇතුළු ලංකාවේ බොහෝ මාධ්‍ය අයිතිකරුවන් පක්ෂ දේශපාලනඥයන්ට වාසිදායක දේවල් කරන්නේ නිකම්ම නොවේ. ඒ අදාළ දේශපාලනඥයා රටට යහපත් දෙයක් කරනු ඇතැයි හෝ තමන්ගේ අදහස් ඔවුන්ගේ දේශපාලන දර්ශනය හා ගැලපෙනවා යැයි සිතා හෝ නොවෙයි. දේශපාලනය මාධ්‍යයෙන් යැපෙනවා සේම, මාධ්‍යයට ද දේශපාලනයෙන් යැපිය හැකි සංස්කෘතියක් අද බිහි වී තිබෙනවා.

මෙහිදී ප්‍රශ්නය වන්නේ අප පෙර පෝස්ටුවේ සඳහන් කළ පරිදි ඔහුගේ දේශපාලන හැසිරවීම හා දේශපාලන අවභාවිතයයි. කතා කරන භාෂාවෙන් කිවහොත් ඉරාජ් ශ්‍රී ලාංකික ඡන්ද දායකයන්ට 'පොලිටිකල් ආතල්' එකක් දී තිබෙනවා. ඉරාජ් කර ඇත්තේ උපහාසයක්ද? අපහාසයක්ද? වඩාත් වැදගත් වන්නේ මේ සාකච්ඡාව ඇති කිරීමෙන් ඔහුට සිදුවන වාසිය කුමක්ද? යන්න අප පුරවැසියන් ලෙස දැනුවත් වීමේ අවශ්‍යතාවයයි.

➡️ දේශපාලනික සමලිංගිකභීතිකාව තේරුම් ගැනීම

'දේශපාලනික සමලිංගිකභීතිකාව' යනු දැනුවත්ව යොදා ගන්නා දේශපාලන උපාය මාර්ගයක්. රටක පාලකයන්ට රටේ සැබෑ ප්‍රශ්න යට ගසා තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් කළ යුත්තේ එම ප්‍රශ්න විසඳීම නොවේ‍, සමලිංගිකයන්ට විරුද්ධ වීමයි. සමලිංගිකයන් නිසා රටේ සංස්කෘතිය විනාශ වෙන බව කීමයි. එසේම ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයාගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ අනිකා සමලිංගිකයකු බව කීමයි. නැතිනම් අනිකා සමලිංගිකයන්ට සහයෝගය දෙන බව කීමයි. (දේශපාලන සමලිංගිකභීතිකාව ගැන අප කලකට පෙර පළ කළ පෝස්ටුවේ ලින්කුව පහතින්) මෙය ඡන්දයක් ලංවත්ම මෙරට දේශපාලඥයින් විසින් බහුලව යොදා ගන්නා උපාය මාර්ගයකි. පසුගිය 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ වත්මන් ජනපති ද මෙම උපාය මාර්ගය මැනවින් භාවිතා කළා.

මෙම තත්ත්වය උදා වෙන්නේ සමලිංගිකයින්ට, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට 'නොහැකියි' යන සමාජයේ පවතින මුල් බැස ගත් මිත්‍යාව හේතුකොට ගෙනයි. සමලිංගිකයින්ට, සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ට ලිංගික ප්‍රාණවත් වීමක් නොමැති බවද, ඔවුන් කොන්ද පණ නැති අය බවද, නායකත්වය වැනි ගුණාංග ඔවුන්ට නැති බවද, ඔවුන් පුරුෂත්වයට හෝ ස්ත්‍රීත්වයට නිග්‍රහ කරන බෙලහීන පුද්ගලයින් බවද, මානසික රෝගීන් බවද, සමාජයට පිළිලයක් යනාදී නොයෙකුත් ආකාරයේ විද්‍යාත්මක නොවන, සත්‍යතාවයක් නැති මිත්‍යා මත ගණනාවක් අප සමාජයේ අදටද පවතිනවා. නූතන වෛද්‍ය විද්‍යාවේ මෙම මත බැහැර කළත්, අප සමාජයේ ලිංගිකත්වය පිලිබඳ ඇති දැඩි නොදැනුවත්භාවය හේතුවෙන් අප රට පවතින්නේ ඉතා පසුගාමී තත්ත්වයකයි. කෙනෙකුගේ ලිංගික අනන්‍යතාවය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය තම පෞර්ශත්වයට කිසිම සම්බන්ධයක් නොමැතිබව මනෝ විද්‍යාඥයින් පවසනවා. පෞර්ශත්ව ඕනෑම පුද්ගලයෙකුට තිබෙන්නට පුළුවන්.

අද වන විට ලෝකයේ 'නායකයන්' ලෙස තනතුරු දරන පුද්ගලයින් අතර ද සමලිංගික, ද්වී ලිංගික, සංක්‍රාන්ති සමාජභාවී හෝ විවිධ ලිංගික අනන්‍යතා සහිත අය සිටිනවා. ඇතැම් රටවවල එවැනි අය ප්‍රසිද්ධියේ තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කළ අවස්ථා ද අප දැක තිබෙනවා. දකුණු ආසියාවේ පවා ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, නේපාලය වැනි රටවල පවා නොයෙකුත් දේශපාලන පක්ෂවල LGBTIQ පුද්ගලයන් ඇතුළුව විවිධ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයින් මැතිවරණවලදී ඔවුන්ගේ පක්ෂ නියෝජනය කරනවා. නේපාලයේ සුනිල් බාබු පාන්ට් අප කලාපයෙන් බිහි වූ විවෘතව සමකාමී දේශපාලනඥයෙක් ලෙස හඳුනා ගත හැකියි. තවද LGBTIQ පුද්ගලයන් දේශපාලන නොවන ක්ෂේත්‍රවල උසස් නිලතලවල සිටින පිරිස් අතර ද සිටිනවා. අතීතයේ එසේමයි. අප රටේද, ප්‍රසිද්ධියේ තම ලිංගික අනන්‍යතාව ප්‍රකාශ නොකළද, සෑම දේශපාලන පක්ෂයකම මෙවැනි පුද්ගලයින් සිටින්නට ඉඩකඩ පවතිනවා. මන්ද පුද්ගලික ලිංගික අනන්‍යතා සමහරුන් සඟවා සිටින බැවින්. තවද සමලිංගික හෝ සංක්‍රාන්ති සමාජභාවී නොවන නමුත් එවැනි පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ අනෙකුත් මිනිසුන් හා සමාන අයිතිවාසිකම් ඇති බව පිළිනොගන්නා මෙන්ම පිළිගන්නා දේශපාලඥයින් ද සෑම දේශපාලන පක්ෂයකම සිටිනවා.

➡️ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන ලංකාවේ හිතන හැටි මෙයට බලපාන්නේ කොහොමද?

ලංකාවේ දේශපාලනය තුළ ස්ත්‍රී නියෝජනය සෑම දේශපාලන පක්ෂයකම ඉතා අල්පයි. මෙයටද හේතුව ඉහත කරුනුමයි. අප පෙර පෝස්ටුවෙන් සදහන් කළ පරිදි 'ස්ත්‍රීභාවය' යනු 'නායකත්වයට' නුසුදුසු සමාජභාවයක් යන මිත්‍යා මතය සමාජයේ පවතිනවා. එසේ නොවනවා යනුවෙන් තර්ක කරන පුද්ගලයින් ප්‍රකාශ කරන්නේ මෙරටින් ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි වුන බවද, මෙරටේ විධායක ජනාධිපතිධූරය කාන්තාවක් දරා ඇතිද බවයි. නමුත් මෙම කාන්තාවන් දෙදෙනාම බලයට පැමිණෙන්නේ ශක්තිමත් දේශපාලනික පවුල් පසුබිමකින් වන අතර ඔවුන්ගේ පියා හෝ සැමියාගේ දේශපාලන ප්‍රතිරූපත් සමඟයි. එසේ නොවන කාන්තාවන් ප්‍රාදේශීය සභාවකටවත් තේරී පත්වන්නේ නැහැ. නමුත් පියාගෙන් පුතෙකුට යන දේශපාලන පත්වීම් නම් ශ්‍රී ලකාවේ සුලභයි. තවද නාම යෝජනා ලබන කාන්තාවන් බොහොමයක් පුරුෂමූලික සමාජයේ ගැහැණියෙකුට තිබිය යුතු යැයි පුරුෂයින් විසින් ලේබල් කරන ගති ලක්ෂණවලින් යුතු වීම බොහෝ විට අනිවාර්යය වෙනවා. නමුත් දේශපාලන සුදුසුකම් සපුරන එවැනි කාන්තාවන් දේශපාලනයට නුසුදුසු යැයි අප පවසන්නේ නැහැ.

➡️ අපි සමාජයක් ලෙස මේවාට විරුද්ධ නොවෙන තාක් කල් මේවා සිදු වීමට නියමිතය.

දේශපාලනයේ පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයක පුද්ගලයෙකුට තම ලිංගික අනන්‍යතාවය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කරන කොන් කිරීම් හෝ අපහාස කිරීම් එම පුද්ගලයාට පමණක් නොව එය සමාජයේ එවැනි අනෙක් පුද්ගලයින්ටද කරන කොන් කිරීමකි. අපහාසයකි. පුද්ගලයෙකුගේ ජාතිය මත, සමේ වර්ණය මත, කුලය මත, ආගම මත වෙනස්කම් කිරීම වැරදි ක්‍රියාවක් සේම පුද්ගලයෙකුගේ ලිංගික අනන්‍යතාවය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කරන කොන් කිරීමද එසේමය.

මෙවැනි ප්‍රවනතා නැවැත්වීමට නම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ තමන් 'ආතල්' දෙන දේශපාලඥයින්ට ඡන්දය දමන ඡන්ද දායකයන් නොව මිනිසුන්ගේ ප්‍රතිපත්ති හා ක්‍රියා කලාප හොඳින් අවබෝධ කර ගන්නා ඡන්ද දායකයන්ය. එම නොදැනුවත්භාවය නැති කිරීම ශ්‍රී ලාංකික පුරවැසියන් වන අප සැමගේ වගකීමකි. අපි සමාජයක් ලෙස මේවාට විරුද්ධ නොවෙන තාක් කල් මේවා සිදු වීමට නියමිතය.

ඉරාජ්, දේශපාලන අවභාවිතය නැතිව දේශපාලනය කරන්න ඉගෙන ගන්න.

දේදුනු සංවාද - Dedunu Sanwada ෆෙස්බුක් පිටුවෙන්