පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන ලියයි
ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදුව බලාත්මක වූ දිනය වන්නේ 2020.01.22 දිනයයි.(අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/20/0087/227/006-2020-02-06) මෙම ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධානතම ප්‍රතිපත්ති ප්‍රකාශනය වන්නේ "කඩොලාන පරිසර පද්ධති "අසම" වටිනාකම් (Incomparable values) සහිත සම්පතක් ලෙස පිලිගැනීම තහවුරු කිරීම වේ. එහි ප්‍රතිපත්ති ප්‍රකාශන යටතේ වන දෙවන කරුණ වන්නේ සෘජු හෝ ක්ෂණික ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව සලකා බැලීමෙන් තොරව කඩොලාන සංරක්ෂණය සඳහා ආර්ථික හා සමාජීය සම්පත් වෙන්කිරීම සඳහා ප්‍රමුඛත්වය දීම දිරිගැන්වීම වේ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය නිසියාකාරව බලාත්මක කිරීම ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධතීන් අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම පිණිස අවශ්‍ය වටිනාම මඟපෙන්විම බව පැහැදිලි වේ.
මේ වනවිට මෙරට ඉතිරි කඩොලාන ප්‍රමාණය කොතෙක්ද යන්න පිළිබඳ යම් අපැහැදිලිතාවයන් තිබුණත්,මෙම ජාතික ප්‍රතිපත්තියේම කොටසක් වන "අවශ්‍යතාවය" යටතේ සඳහන් වන්නේ "ශ්‍රී ලංකාවේ කඩොලාන මඟින් ආවරණය වන භූමි ප්‍රමාණය 0.23% ක් පමණ වන අතර කඩොලාන භාවිතය හා තිරසර භාවිතය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තිබීම මගින් මෙම පරිසර පද්ධතිය තවදුරටත් පරිහානියට පත්වීම වලක්වා ගත හැකිවනු ඇත"යන්නයි.
දැනට ඉතිරිව තිබෙන කඩොලාන ප්‍රජාවන් අතුරින් විශාල ප්‍රමාණයේ කඩොලාන පද්ධතීන් තිබෙන්නේ තුනක් පමණකි. ඒවා නම්,පුත්තලම දිස්ත්‍රික්කයේ ගඟේවාඩිය ප්‍රදේශය,මන්නාරම දිස්ත්‍රික්කයේ වෙඩිතලතිවු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නගරයට පහල තිබෙන කඩොලාන පද්ධතිය වේ.
වෙඩිතලතිවු අනතුරේ!
ඒනිසා කඩොලාන සංරක්ෂණ ක්‍රියාවලියේදී මෙම විශාල කඩොලාන පද්ධතීන් තුනට විශේෂ ප්‍රමුඛත්වයක් ලබාදීම අනිවාර්‍යයෙන්ම කළ යුත්තකි.ඒ අතුරිනුත් වඩාත්ම විශාලව වැඩී තිබෙන කඩොලාන පද්ධතිය පිහිටන්නේ වෙඩිතලතිවු ස්වභාවික රක්ෂිතය තුලය. මේ නිසා ඉහත සියලු කරුණුවල සම්ප්‍රයුක්තය විය යුත්තේ වෙඩිතලතිවු ස්වභාවික රක්ශිතය තුළ තිබෙන කඩොලාන පද්ධතිය ප්‍රමුඛතාවයක් ලෙස රැකගැනීම විය යුතුය. එම ප්‍රදේශය මේ වනවිට ස්වභාවික රක්ෂිතයක් ලෙස නම්කර ආරක්ෂාව සලසාදීම මේ නිසා ඉතා වැදගත් පියවරක් වේ.
ඒ සියල්ල එසේ වුවත්,වෙඩිතලතිවු ස්වභාවික රක්ෂිතයේ භූමියෙන් කොටසක් ආරක්‍ෂිත තත්වයෙන් ඉවත්කර ජලජීවී වගාවන් සඳහා ලබාගැනීමේ ප්‍රයත්නයක් 2017 සිට ක්‍රියාත්මක විය. එමඟින් මේ ප්‍රදේශයට හානි වියහැකි නිසා එයට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකඟ නොවන බවත් මේ වසර මුලදී ප්‍රකාශ විය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු තීරණයත්, කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තියේ ඉහත සඳහන් කරුණු සහ අනිකුත් ප්‍රතිපත්තිමය කරුණුත් එකිනෙකට සමපාත වන කරුණු වේ. එනමුත්, වෙඩිතලතිවු ස්වභාවික රක්ශිතයේ කොටසක් ජලජීවී වගාව වෙනුවෙන් ලබාගැනීමට කෙරෙන නිරන්තර ප්‍රයත්නය රාජ්‍ය ආයතනයක්ම වන ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය මගින් සිදුකිරීම උභතෝකෝටික කරුණකි.මීට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙම ජාතික ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීමට සියලු රාජ්‍ය ආයතන විශේෂයෙන් බැඳී තිබීමත්, තමන් ගන්නා තීරණ සහ ක්‍රියාමාර්ග සියල්ල රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව මිස ඊට පටහැනි හෝ එරෙහි නොවිය යුතු වීමයි.
ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද පසු අප සිතා සිටියේ එය මෙරට ඉතිරි කඩොලාන පද්ධති රැක ගැනීමට ගනු ලැබූ වැදගත්ම ඉදිරි පියවරක් ලෙසය. ඒ නිසා කිසිවෙකුටත්,විශේෂයෙන්ම කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ නිලධාරියෙකු හෝ ඊට එරෙහිව හෝ පටහැනිව ක්‍රියා කිරීමට උත්සාහයන් ගන්නේ නම් එම ප්‍රයත්නයන් වළක්වාලමින් ප්‍රතිපත්තියට අවනත කරවීම එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ "වගකීම සහ අධිකාරිය" පැවරී තිබෙන පරිසර විෂයභාර අමාත්‍යාශයට අයත් වූවකි.
එය එසේ ඉටුකරනු ඇතැයි යන්න අපගේ ඒකායන බලාපොරොත්තුව වේ.
පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන