නිදහස ලැබීමෙන් පසුව එතෙක් පැවති සාර්ථකත්වය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමේ හැකියාව ඇති පරිණත නායකයින් පහල නොවීම හා ඇතිකර ගැනීමට නොහැකි වීම ලංකාවේ අසාර්ථක භාවය කෙරෙහි බලපෑ වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. එසේම දැන් ලංකාව අසමත් හා බංකොළොත් රටක් බවට පත් වීමෙන් පසුද එම අවසනාවන්ත තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට අවශ්‍ය ශක්තිමත් ඉදිරි දැක්මක් ඇති පරිණත නායකයින් නැතිකම මේ මොහොතේ ලංකාව මුහුණ දී තිබෙන ලොකු අභියෝගයක් ලෙස සැලකිය හැකිය.
නායකයින්ගේ පුංචිකම
අගමැති ඩී. ඇස් සේනානායකගේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දක්වා ලංකාව මෙතෙක් බිහිකර තිබෙන සියලු රාජ්‍යය නායකයින් සැලකිය හැක්කේ ලොකු ඉදිරි දැක්මක් නොතිබුණ පුංචි නායකයින් ලෙසය. 1977 දක්වා විටින් විට බලයට පැමිණි නායකයින් තමන්ට මුදලින් ආධාර කළ සිමීත කිහිප දෙනෙකුට අනුග්‍රහය දක්වන පිළිවෙතක් අනුගමනය කලා වුවද රාජ්‍ය නායකයින් තමන්ට ලැබී තිබෙන බලය ප්‍රයෝජනයට ගෙන අයථා ලෙස වස්තුව උපයන පිළිවෙතක් අනුගමනය කලේ නැත .එහෙත් ජාතිය ගොඩනැගීම සදහා පැහැදිලි දර්ශනයක් නැතිකම නිසා වර්ග කුල ආගම් ප්‍රශ්න අවුල් කරගනිමින් රට අනාගතේ ලොකු ලේ වැගිරීම් වලට තල්ලුකරන තැනකට ඔවුන් කටයුතු සිදුකරමින් තිබුනේ යැයි කිව හැකිය.
ලංකාවේ රාජ්‍යය නායකයින් තමන්ට තිබෙන රාජ්‍යය බලය අයථා ලෙස යොදා ගනිමින් මහා පරිමාණයෙන් ධනය උපයන තැනකට යන්නේ 1977 දී ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසුවය. ලංකාවේ රාජ්‍යය පාලනයට මහා පරිමානයෙන් වස්තුව කොල්ල කන ක්‍රමයක් හදුන්වා දෙන ලද්දේ ජනාධිපති ජයවර්ධන විසිනි. ඉන් පසු බලයට පැමිණි සියලු ජනාධිපතිවරුන් ජනාධිපති ජයවර්ධන හදුන්වා දී තිබූ එම ක්‍රමයට තවත් අලුත් අංග එකතු කරමින් එය පවත්වාගෙන ගියේය.
පාලනයේ කොල්ලකාරි ස්වභාවය
ජනාධිපති ජයවර්ධන ලංකාවේ දේශපාලනයට එකතු කළ එම කොල්ලකාරි ක්‍රමය ජනාධිපති ජයවර්ධන නැපෝලියන්ගෙන් ඉගෙනගෙන තිබෙන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. ජනාධිපති ජයවර්ධනගේ වීරයා වූයේද නැපෝලියන් ය. නැපෝලියන් රටවල් අල්ලාගැනීමේ ආක්‍රමණික වැඩසටහන සඳහා යොදාගනු ලැබුවේ වස්තුව කොල්ලකෑමේ අයිතිය ලැබේ නම් ඕනෑම තැනක සේවයට කැමති කුළී හමුදාවන් ය. නගර අල්ලා ගත් විට ඒ නගරවල තිබෙන වස්තුව සිත් සේ කොල්ලකෑමේ බලය නැපෝලියන් සිය කුලී හමුදාවන් ට ලබා දී තිබුනි. නැපෝලියන් ආක්‍රමණික යුද්ද සඳහා යොදා ගනු ලැබූ එම ක්‍රමය ජනාධිපති ජයවර්ධන රාජ්‍යය පාලනය සඳහා යොදාගත්තේය.
ජනාධිපති ජයවර්ධන විසින් හදුන්වා දෙන ලදුව තේරීපත්වූ සියලු ජනාධිපතිවරුන්ද තව තව අලුත් අංග එකතු කරමින් පවත්වාගෙන ගිය එම අවලස්සන දූෂිත ක්‍රමයට ආවේණික ප්‍රධාන ලක්ෂණ මේවාය.
(අ) මහජන ඡන්දයෙන් තෙරී පත්වූ ජනාධිපති හා ඔහුගේ හෝ ඇයගේ පාර්ලිමේන්තු ආණ්ඩුව රට පාලනය කරනවාට අතිරේකව රටේ වස්තුව අයථා ලෙස උපයා ගැනීමේ අයිතියද බුක්ති විදියි. එය සිදු වන්නේ වස්තු කොල්ලයක ස්වරූපයෙනි.(ආ) රාජ්‍යයේ සකල විද බලය හිමි කරගත් රාජ්‍යයේ නායකයා වන ජනාධිපති එම ජාතික වස්තු කොල්ලයේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරයි.
(ඇ) පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ජනාධිපති පවත්වාගෙන යන වස්තු කොල්ලයට ඇමති මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් හා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින් වශයෙන් සහාය ලබාදේ. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ගේ වස්තු කොල්ලයට තමන්ට තිබෙන මුක්තියෙන් රැකවරනය ලබා දේ.
(ඈ) මෙම ක්‍රමය ආණ්ඩු පක්ෂය හා විරුද්ද පක්ෂ අතර මනා අවබෝධයකින් යුතුව පවත්වාගෙන යන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩු පක්ෂය කරන හොර මැරකම් ගැන විරුද්ධ පක්ෂයට කතා කල හැකිය. එහෙත් එය නාමික විරෝධයක් පමණය. වස්තුව කොල්ලකෑමේ අයිතිය මාරුවෙන් මාරුවට තමන්ට හිමි බව දෙපක්ෂයම පිලි ගනී.
අසමත්කමේ ප්‍රධාන සාධක දෙක
නිදහසේ සිටම ජාතිය ගොඩ නැගීම අරඹයා ස්ථිර හා පැහැදිලි ප්‍රතිපත්තියක් නැතිකම නිසා සමාජයේ පැවති වර්ග කුල ආගම් භේද වර්ධනය වී රට ක්‍රමානු කූලව ප්‍රචණ්ඩ මාවතකට තල්ලු කිරීමක් සිදු විය. ඒ නිසා ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් ජන ජීවිතයද, සමාජ දේශපාලන ක්‍රමයද විකෘති කොට රාජ්‍යය ද බෙලහීන කොට ජරාජීරණ තත්ත්වයකට පත් කිරීමට හේතු විය.
රාජ්‍යය පාලනයට 1977 දී එකතු කරන ලද වස්තු කොල්ල සාධකය රාජ්‍යය හා එහි සමස්ථ ආයතන ක්‍රමය දූෂණය කොට රාජ්‍යය ට ලැබෙන ආදායම් හීන කොට ක්‍රමානුකූලව රට බංකොළොත් තත්ත්වයකට තල්ලු කිරීමට හේතු විය. දැන් ලංකාව තිබෙන්නේ අසමත්කමේ උපරිම තත්වයකය.
දැන් ලංකාවේ ඇතිවී තිබෙන අසමත් තත්ත්වය ජනාධිපති ගෝඨාභයගේ හෝ ඔහු ගේ ආණ්ඩුවේ දෝෂයන් නිසා පමණක් ඇතිවූ තත්ත්වයක් ලෙස සැලකීම වැරදිය. ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ අසමත්කම අසමසම තත්ත්වයක තිබුණ ද දැන් ඇතිවී තිබෙන අසමත්කම රට පාලනය කළ සියලු පාලකයින්ගේ වරදින් ක්‍රමානූකූලව ඇතිවූ විශේෂිත ඓතිහාසික තත්ත්වයක් ලෙස සැලකිය යුතුය.
අලුත් ප්‍රවේශයක අවශ්‍යතාව
දැන් ඇතිවී තිබෙන එම තත්ත්වය එය ජය ගත යුතු අලුත් ක්‍රමයකට මිස පරන ක්‍රමයට ජය ගත නොහැකිය. එහෙත් විරුද්ධ පක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින් හැම කෙනෙකුම කල්පනා කරන බව පෙනෙන්නේ පරන ක්‍රමයටය. ඒ සියලු දෙනාගේ මතය වී ඇත්තේ රාජ්‍යයේ ඇතිවී තිබෙන අසමත්භාවය හා බංකොළොත්භාවය ජනාධිපති ගේ හා ආණ්ඩුවේ අසමත්කමින් ඇතිවී තිබෙන විශේෂ තත්ත්වයක් ලෙසය. එය තමන්ට ආණ්ඩු බලය ලබාගැනීමෙන් විසදා ගත යුතු ප්‍රශ්නයක් ලෙසය. එහෙත් ඇතිවී තිබෙන අසමත්භාවය හා බංකොළොත්භාවය ඒ ආකාරයෙන් විසදාගත හැකි සරල ප්‍රශ්නයක් නොවේ. එය සමාජ -දේශපාලන ක්‍රමය හා රාජ්‍යය ප්‍රතිනිර්මණයකට යොමුකරන ජාතික මට්ටමේ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ සටහනකින් ජය ගත යුතු අර්බුදයකි. ඒ සදහා දැක්විය හැකි හොදම නිදර්ශනය අධිකරණයයි. ආණ්ඩුවක් වෙනස් වූ පමණින් අධිකරණයේ ඇතිවී තිබෙන ගරා හැලීම වෙනස් වන්නේ නැත. එම තත්ත්වය රාජ්‍යයේ අනෙකුත් ආයතනවලට අදාළය. රාජ්‍යය ට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ග දේශපාලකයින් හා ඔවුන්ගේ ගජ මිතුරන් අල්ලා ගෙන සිටින්නේ නම් එම තත්ත්වය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වලින් වෙනස් කල යුතුය. ආණ්ඩුවක් වෙනස් වූ පමනින් ඒවා ඉබේ වෙනස් වන්නේ නැත.
දැන් ඇතිවී තිබෙන කාලකණ්ණි තත්ත්වයෙහි සැබෑ වෙනසක් ඇති කරගැනීමට නම් සෑබෑ ව්පර්‍යාසයක් වෙනුවෙන් පෙනී සිටින නායකත්වයක් සොයා ගත යුතුය. අලුත් පරිණත විකල්ප නායකයකුගේ සෙවනැල්ලක්වත් තවමත් පෙනෙන්නේ නැත. ඒ නිසා විරුද්ධ පක්ෂයේ සම්ප්‍රදායික නායකයින් අතර ටින්කර් කිරීමකට ලක්කොට හෝ ප්‍රයෝජනයට ගත හැකි නායකයකු හෝ නායකියින් කිහිප දෙනෙකු සිටී නම් ඔවුන් ප්‍රයෝජනයට ගත යුතුය. මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ ජාතිය ගොඩනැගීම හා රාජ්‍යය පාලනයට එකතුකර තිබෙන වස්තු කොල්ලකන ප්‍රපතිපත්තියට එරෙහිව බලවත් ලෙස පෙනී සිටින හා ඊලග ජනාධිපතිවරණයක් එන තෙක් බලා නොසිට ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලකට රට යොමුකිරීම් වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටින නායකයින් ය.
අප අතර සිටින විරුද්ධ පක්ෂය වෙනුවෙන් පෙනී සිටින සාම්ප්‍රදායික නායකයින්ගේ නම් ඉංග්‍රීසි හෝඩියේ අනුපිලිවෙලට දක්වතොත් මෙසේය. අනුර කුමාර දිසානායක, කරු ජයසූරිය, මංගල සමරවීර, සජිත් ප්‍රේමදාස ,චම්පික රණවක හා රනිල් වික්‍රමසිංහ. මේ නායකයින් හය දෙනාම සැලකිය හැක්කේ පරන ක්‍රමය තුළ ජීවත් වෙමින් ඒ ක්‍රමය පවත්වාගෙන යාමට එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට දායකවූ පරන නායකයින් ලෙසය. ඔවුන් තව දුරත් කල්පනා කරන්නේ පරන ක්‍රමයට නම් ලංකාව ගලවා ගැනීමට ඔවුන්ට කල හැකි දෙයක් ඇත්තේම නැතිතරම් යැයි කිවහැකිය. එහෙත් ඔවුන් අතර පවතින කටුක යථාර්ථය තේරුම් ගත්, ඒ සඳහා වෙනස් වෙන්න්ට කැමති ,ඊට අවශ්‍ය අධිෂ්ඨාන ශක්තිය ඇති අයද සිටිය හැකිය. ඔවුන්ට ඔවුන් ගේ ගමන් මග අලුත් කර ගැනිමට අවශ්‍ය වනු ඇත්තේ හොද අවංක ස්වයං විවේචනයක් පමණය. මේ නායකයින් අතර ඒ වෙනස්කම් ඇතිකර ගන්නට සූදානම් නායකයින් කවුද? ඒ බව ප්‍රකාශ කල යුත්තේ එම නායකයින් විසින්මය. ඒ ගැන වන මහජන සංවාදයක් ඇතිවනු ඇත්තේ ඉන් පසුවය.
වික්ටර් අයිවන්