ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත: සමාජ ජාල තුළ කතාබහට ලක් වූ "අරගලකාරියගෙන්" ඉල්ලීමක්

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි විරෝධතාවට තමා එක් වූයේ උපන් නූපන් සියලූම දුවා දරුවන් වෙනුවෙන් යයි නැණසීලි ද සිල්වා පවසයි.

"මේක කලින් ආණ්ඩුව කාලේ අකුල ගත්ත පනතක්. ඉතින් රටේ ඉදිරි පරපුරේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් මාත් මැදිහත් වුණා," යනුවෙන් ඇය BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළාය.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙනුත්, පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහාත් පෙළ ගැසෙන ලෙස තමා වත්මන් තරුණ පරපුරෙන් ඉල්ලා සිටින බව ඇය කියා සිටියේ සඳුදා (ජුලි 12) වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල වෙත යාමට මදකට පෙරදීය.

"මොකද මගේ අතපය හන්දිවලින් ඇදලනේ තියෙන්නේ. පහුවෙනිදා නැගිටින්න ඇත්තේ ඇඟේ හයියට වඩා හිතේ හයියට. ඒත් අවශ්‍ය වෙලාවට රට වෙනුවෙන් තව අඩියක් ඉස්සරහට තියනවා,"

"පොලිසිය මාව උස්සගෙන ඇවිත් බිමට දැම්මා. ඒ දානකොට කොහේ වැදුනද දන්නේ නැහැ. ඔලුව ටිකක් තඩිස්සි වෙලා තියෙනවා. ඒ වේදනාව දැන් තමයි දැනෙන්නේ,"

එබැවින් වෛද්‍යවරයෙකු හමු වී තමාගේ ශරීර සෞඛ්‍ය පරීක්ෂා කරවා ගන්නා බව ඇය පැවසීය.

මේ කවුද?

 

 119352603 906ed960 a363 406a 9aa9 3337f4256968

 

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව බ්‍රහස්පතින්දා (ජුලි 08) පාරිලිමේන්තු පිවිසුම ආසන්නයේ පැවති විරෝධතාවට එක් වූ 30 කට අධික පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් ඇය ඔසවා ගෙන යනු ලබන ආකාරය දැක්වෙන ඡායාරූප සහ දර්ශන සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය.

ඇය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකාවකි. අරගල බිමේ සගයන් අතර ඇය වඩාත් ප්‍රසිද්ධ "ලියනගේ", නැති නම් "ලියනගේ අක්කා" නමින්ය.

"සමාජ අසාධාරණය වෙන්නේ කොයි මොහොතේද, ඒ ඕනෑම වෙලාවක සමාජයේ සුබ සාධනය වෙනුවෙන්, වෙනසක් කිරීම වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඒ සඳහා තමයි මම වැඩ කරන්නේ," යනුවෙන් ඇය BBC සිංහල සේවය වෙත කියා සිටියේය.

වසර 40 වැඩි කාලයක් 'සටන් බිමේ'

 119352599 7a2d7d9a 0e13 4a76 9499 ff374bc50021

70 දශකයේ සිට "දේශපාලනයේ යෙදී සිටින" ඇය සිය පරපුර, සිය පරපුරේ දූ පුතුන් පමණක් නොව සිය පරපුරේ මුනුපුරු මිනිපිරියන් වෙනුවෙන් ද අරගලයක යෙදී සිටින්නීය.

"ජනතාවට කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ පුද්ගලික හිතවත්කම්වලට, පාක්ෂිකයන්ට පමණයි. මේක නරකම තැනකට ගිහින් තියෙන්නේ. ඉස්සරහට මේක තවත් දරුණු වෙයි,"

එබැවින් ශ්‍රී ලංකාවේ වැඩිහිටි පරපුර ඉදිරියට පැමිණ වෙනසක් වෙනුවෙන් "බාල පරපුරට" ශක්තියක් විය යුතු බව ඇය පෙන්වා දෙයි.

"අද වෙනකොට වැඩිහිටියෝ විදිහට කකුල් දෙක කෙලින් තියාගෙන හිට ගන්න බැරි හින්දනේ ඔවුන් යම් කිසි නිශ්චිත තැනක හිට ගන්නේ නැත්තේ. අපිට ගතේ වාරුව නැතත්, හිතේ වාරුව තියෙනවා මේ දේ වෙනස් කරන්න. ඒ නිසා මම බාල පරපුරෙන් ඉල්ලන්නේ වෙනසක් වෙනුවෙන් කැප වෙන්න,"

 119352997 4816f1a4 588c 46f7 acd0 8cf7080aac8d

 

"අත්තම්මට උරුම බණ පොත" ද?

වැඩිහිටි වයසේ පසුවෙන කාන්තාවක් විරෝධතාවකට එක් වීම ඇතැමෙකුගේ ඇගයීමට ලක්ව තිබුණු අතර එය තවත් පිරිසකගේ විවේචනයට ලක්ව තිබිණි.

එවැනි කටයුත්තකට වැඩිහිටි කාන්තාවක් එක් වීම නුසුදුසු බව හෝ යම් කිසි පක්ෂයක් විසින් සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඇය යොදා ගනු ලැබ ඇතැයි යන්න ඉහත කී විවේචන අතර විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, "අපේ රටේ අත්තම්මට උරුම පන්සල, අත්තම්මට උරුම බණ පොත" වැනි පොදු අදහසක් පවතින බවය.

 119353002 e82e29c9 1ab1 4751 9370 cb74596a4960

ශ්‍රී ලංකා සමාජයේ බොහෝ කොටස් කාන්තාව "පසුගාමීත්වයේ සංකේතයක්" වශයෙන් දකින බවත් ඇය පවසයි.

"කාන්තාවට අරගල අයිති නැහැ. කාන්තාවට අයිති දරුවන් වැදීම, දරුවන් හැදීම විතරයි. දරුවන්ට නිවැරදි මාර්ගය පෙන්වීමවත් සමහර වෙලාවට කාන්තාවන්ට අයිති නැහැ වගේ දෙයක් සමාජය තුළ තිබෙන්නේ."

මනුෂ්‍යයෙකු වශයෙන් තම "කොටස" ඉටු කිරීමට වයස බාධාවක් කර ගත යුතු නැති බව ඇය කියා සිටී.

මේ පනතට විරුද්ධ ඇයි?

 119352601 23e7799e 8a42 4667 aa55 bf4163b018ab

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත වුවහොත් එමගින් "විධානයන්ට අවනත වන, පරිගණක වැනි" පරපුරක් බිහි වනු ඇති බවට ඇය බිය පළ කරයි.

"මේ පනතත් එක්ක අපේ අනාගත පරපුර ගැන තියෙන්නේ කියන්න බැරි තරම් දුකක්, ශෝකයක්. මේ පනත කලිනුත් ගෙනාවා, ඒක අකුලවන්න අපිට පුළුවන් වුණා. අපේ අනාගත පරපුර, සංවේදී නැති පරිගණක වගේ, කාගේ හෝ විධානයකට අනුව කටයුතු කරන තැනකට තමයි මේ ගෙන යන්න හදන්නේ."

"මිලිටරි ක්‍රමයක් තුළ ළමයි බයයි, දෙමව්පියොත් බයයි. තමන්ගේ සිතුවිලි, තමන්ගේ හැකියාව, තමන්ගේ නිර්මාණ නිදහසේ ඉදිරියට දාන්න ළමයෙකුට බැහැ. ඔවුන් අසරණ වෙනවා,"

අප සමාජයක් ලෙස "තමා ගැන පමණක් සිතන, අවස්ථාවාදී පුද්ගලයන්" බවට පත්ව ඇති බව ඇයගේ අදහසය.

"නිර්මාණශීලී දක්ෂ විවිධ හැකියාවන් ඇති අය ඉන්නවා, නමුත් බොහෝ දෙනා හරිම අවස්ථාවාදී, පවුලක ගත්තත් සාමූහිකත්වයට වඩා තියෙන්නේ තනි තනිවම ජයග්‍රහණය කිරීම. තනි පුද්ගලයෙක් මතින් සමාජයට ජයග්‍රහණය කරන්න බැහැ. ඒත් අපි එතනට පත් වෙලා තිබෙනවා,"

"ඒ ආත්මාර්ථකාමීත්වය තුළ තමයි අනෙකා ඉදිරියේ දණ ගහන්නේ. හොඳම උදාහරණය මැතිවරණයක් වෙද්දී අපේක්ෂකයා වටා එක් වෙන පිරිස. රැකියාවක් හෝ වෙනත් පුද්ගලික වාසියක් ලබා ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ. ඒ ක්‍රමය සාර්ථක නැති බව ඔප්පු වෙලා තිබ්බත් ඒ පසුපස යන පිරිස තාමත් වැඩියි."

 

'පොලිසියත් එක්ක තරහ නෑ'

 

 119352999 06111870 8fee 49ec 9e9a 568e26a1df9c

තමා ඇතුළු විරෝධතාකරුවන් ඉදිරියේ "මරදනකාරී" ලෙස හැසිරුනත් "අපේම සමාජයේ කොටසක් වන" පොලිස් නිලධාරීන් දෙස සංවේදීව බැලිය යුතු බව ඇය කියා සිටියාය.

"තමන් කොහොමද මේ අවස්ථාව කර අරින්නේ කියන මානසිකත්වයෙන් සිටි පොලිසියේ පිරිසක් හිටියා. ඒ වගේම තමන්ගේ රාජකාරිය අභිබවා ගිහින් වැඩ කරපු පිරිසකුත් එතන හිටියා."

"පොලිසිය කියන්නෙත් මේ රටේ ජනතාවගෙන් කොටසක්. මේ පීඩාව දෙමව්පියෝ වශයෙන් ඒ අයටත් ඉදිරියේදී දැනෙනවා. කොතලාවල පනත පොලිස් නිලධාරීන්ගේ දරුවන්ටත් වලංගුයි. පොලිස් නිලධාරියෙකුගේ වැටුප ගත්තහම මහ වැටුපකුත් නෙමෙයි. ඒ නිසා එයාගේ දරුපවුලටත් මේ පීඩාව එනවා. ඒ නිසා ඔවුනුත් මේ ගැන දැනුවත් කළ යුතුයි, ඔවුනුත් ඒ ගැන දැනුවත් විය යුතුයි."

ඉදිරියේදීත් රටේ අනාගත පරපුර වෙනුවෙන් "පය ඉදිරියට තබන" බව කී ඇය "මර්දනය" ඉදිරියේ නිහඬ නොවන බව වැඩිදුරටත් සඳහන් කළාය.

"අපේ මේ චූටි, චූටි වැඩවලින් පොඩි හරි වෙනසක් වෙයි කියලා මට හිතෙනවා. සියයට සියයක් නැතත් දශම ගානකින් හරි සමාජයේ වෙනසක් ඇති කරන්න අපේ මේ ක්‍රියා සමහරවිට දායක වෙයි කියලා හිතනවා."

 

පක්ෂ විපක්ෂ අදහස්

 

scsscs

ඉහත කී විරෝධතාවට එක් වූ 30 කට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට ඇප ලැබිණි. එහෙත් ඇප ලැබුණු පිරිස අතර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට පොලිසිය කටයුතු කළේය. එම පියවර නීතිවිරෝධී බව පවසන පාර්ශ්ව ගණනාවක් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගනිමින් සිටිති. කොවිඩ් වසංගතයට මුවා වී නිරෝධායන නීති යොදා ගනිමින් උද්ඝෝෂණ සහ විරෝධතා මර්දනය කිරීමේ තැතක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ඔවුහු චෝදනා කරති.

පසුගිය ආණ්ඩු සමයේ "හකුලා ගැනුණු" කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අධ්‍යාපනය "මිලිටරීකරණය" කිරීමක් බව ඊට එරෙහි ඇතැම් පාර්ශ්ව පවසති. එසේම එය හමුදාව යොදා ගනිමින් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ උපක්‍රමික පියවරක් බව ද ඔවුහු පවසති.

අදාළ විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යටත් නොවන සේ පිහිටුවීම තුළ එහි වගවීම සහ ප්‍රමිතිය පිළිබඳ ගැටළු මතුවන බවත් ඔවුහු පවසති.

ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඒ සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (ජුලි 08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් කියා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික විශ්වවිද්‍යාලවලින් වෙනස් ආයතනයක් බව පළමුව අවබෝධ කර ගත යුතු බවය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව එවැනි විශ්වවිද්‍යාල අතීතයේත් ස්ථාපනය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

සුනෙත් පෙරේරා
BBC සිංහල