ලෝකයේ පමණක් නොව ලංකාවේ ජනතාව ද ආයාසයෙන් හෝ නිරායාසයෙන්ම ජනමාධ්‍ය යන විෂය සමග ඉතා දැඩි බැඳීමක් ඇති කර ගෙන තිබේ. ඒ
පිළිබඳව කතා කිරීමට අද අතිශය වැදගත් දිනයකි. ඊට හේතුව නම්, ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය අදට ( මැයි – 03 ) යෙදී තිබීමයි. අදහස් ප්‍රකාශනයේ නිදහස 1948 එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය මගින් පිළිගෙන ඇති තත්ත්වයක් තුළ, එම සංවිධානයේ 1991 මහ සභා රැස්වීමේදී මෙම දිනය ප්‍රකාශයට පත්කරන ලැබිණි. එතැන් සිට සෑම වසරකම මැයි මස 3 වනදා අපි ලෝක ජනමාධ්‍ය දිනය සමරන්නෙමු. කෙසේ වෙතත්.
අද වන විට ලංකාව
කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තිය මර්දනයේ මුවාවෙන් අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමට ආණ්ඩු කටයුතු කරමින් සිටින පරිසරයක් තුළ, 2020 ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය සැමරීමට සිදුව ඇත. පසුගිය අප්‍රේල් 01 දා සිට ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කරමින් 17 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. මෙය බරපතළ තත්ත්වයක් බවත්, කිසිසේත්ම අනුමත කළ නොහැකි මේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තම කොමිසම දැඩි අවධානයෙන් පසුවන බවත් මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම විසින් වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ලිඛිතව අවධාරණය කර තිබේ. මේ 17 දෙනා අතර සිටින, රම්සි රසීක්ට එරෙහිව පොලිසිය චෝදනා ගොනු කර ඇත්තේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ය. ඒ ඔහුව සිරගත කිරීම වෙනුවෙන්ම කරන ලද්දකි. මේ පනත යටතේ චෝදනා ගොනු කළ විට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබාදිය නොහැකිය. එබැවින් එය සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බව ඉතා පැහැදිලිය.
නීතියේ ආධිපත්‍යය
පසුගිය දා රම්සි රසීක්ව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලංකා ජයරත්න විනිශ්චයකාරවරිය පොලිසියට අවධාරණය කර සිටියේ මෙම චෝදනා ගොනු කර ඇති ස්වරූපය බරපතළ ගැටළු මතුකරන බවයි. කෙසේ වෙතත් මහේස්ත්‍රාත් අධිකරණයට මේ චෝදනා යටතේ ඉදිරිපත් කර ඇති සැකකරුවෙකුට ඇප ලබාදීමේ බලයක් නොමැති නිසා යළිත් ඔහුව දින 14 කට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදු වන බව ඇය ප්‍රකාශ කළාය. ලේඛක ශක්තික සත්කුමාරට කෙටිකතාවක් ලිවීම මගින් ආගමික අපහාසයක් සිදු කළ බව සඳහන් කරමින් පසුගිය වසරේදී පොල්ගහවෙල පොලිසිය මගින් චෝදනා ගොනු කරන ලද්දේ ද මේ පනත යොදාගනිමින් ය. මේ සම්බන්ධයෙන් වූ ඇප ඉල්ලීම කුරුණෑගල මහාධිකරණයේදී විභාගයට ගැනුණු අතර, එහිදී අවස්ථා කිහිපයකදීම පොලිසිය පාර්ශ්වය හෙවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයන් අධිකරණයට දැනුම් දුන්නේ අදාළ කෙටිකතාව තවදුරටත් අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බවයි. නිර්මාණකරුවන් ගේ භාෂණයේ නිදහස ට එවන් පසුබිමක සිදු වන අගතිය කෙතරම් ද?
ආණ්ඩුවල අවශ්‍යතාව මත අදහස් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කෙරෙමින් තිබෙන්නේ එසේ ය. ඊට ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, ලංකාවේ මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව හෝ ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව කියා වෙනසක් නැත. සියල්ලන් යන්නේ එක ම පාරේ ය. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගී තුර්කියේ ඉස්තාන්බූල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය කෙරෙන්නේත්, මාලදිවයිනේ මාධ්‍යවේදී රිල්වාන් අධිආරක්ෂිත කලාපයක් මැදින් රැගෙන ගොස්, ඝාතනය කර, සිරුර කොටස්වලට වෙන් කර මුහුදට දමන්නේත් ඒ එක ම පාර නිසා ය. සත්‍ය වෙනුවෙන් පෙනී සිටිමින් තම සමාජ වගකීම ඉටු කිරීමට ඇති මාර්ගය කොතරම් දුෂ්කර හා රළු එකක් ද යන්න ඉන් පැහැදිලි වේ.
අසල්වැසි ඉන්දියාව දුන් ආදර්ශය
වසංගත තත්ත්වය යටතේ ඉන්දීය ආණ්ඩුව එසේ අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව නවදිල්ලියේ පමණක් 25 ත් 30 ත් අතර සංඛ්‍යාවකි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට ආණ්ඩුව ඉදිරිපත් කළ පුරවැසි පනත් සංශෝධනයට එරෙහිව පසුගිය පෙබරවාරි මාසයේදී විරෝධතා දැක්වූ පිරිස් ය. මේ පනත් සංශෝධනය මගින් මුස්ලිම්වරුන් නොසලකා හැර ඇති බවට විරෝධතාකරුවෝ ආණ්ඩුවට චෝදනා කළහ. විරෝධතා දැක්වූ පිරිස අතරින් 800 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මාර්තු 22 දා ඉන්දීය ආණ්ඩුව රට පුරා ක්‍රියාත්මක ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදි. එම තත්ත්වය යටතේ අප්‍රේල් 01 වැනිදා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනෙකු වූ මීරාන් හයිඩර් සහ සෆූරා සාර්ගාර් අත්අඩංගුවට ගන්නා ලද්දේ පුරවැසි පනත් සංශෝධනයට එරෙහි විරෝධතා සංවිධානය කිරීමේ චෝදනාව යටතේ ය. තවත් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බරපතළ අනීතික ක්‍රියා වැළැක්වීම සඳහා වූ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ය. සමාජ ක්‍රියාකාරිකයෙකු වන උමාර් කාලිඩ්ට ද මෙම පනත යටතේ චෝදනා එල්ල කර ඇතත්, මෙතෙක් ඔහු අත්අඩංගුවට ගෙන නැත. විරෝධතා සඳහා සහභාගි වූ බවට චෝදනා කරමින් ඉම්රාන්ගේ පියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 30 වැනිදා පස්වරුවේ ය. 51 හැවිරිදි තම පියා අත්අඩංගුවට ගැනීමට පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්, කිසිදු චෝදනා පත්‍රයක් හෝ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ඉදිරිපත් නොකළ බව ද ඉම්රාන් පවසයි. පොලිස් ස්ථානයට ගෙන ගොස් ප්‍රකාශයක් සටහන් කරගත යුතු බවත්, ඉන්පසු අත්අඩංගුවට ගැනීම පිළිබඳ නිවැරදිව කරුණු දැක්විය හැකි බවත් පොලිස් නිලධාරීන් සඳහන් කර තිබේ. පියා බැලීමට පොලිස් ස්ථානයට ගිය පවුලේ ඥාතීන්ට පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ වැඩිදුර විමර්ශන සහ ප්‍රශ්න කිරීම් සඳහා ඔහු ව වෙනත් ස්ථානයකට රැගෙන ගිය බවයි. ඊට පසු දින දිල්ලි පොලිස් ස්ථානයේ අපරාධ අංශය භාර පොලිස් නිලධාරියෙකු පවුලේ ඥාතීන්ට පවසා ඇත්තේ ඔහු ව බන්ධනාගාරගත කර ඇති බවයි.
මේ වන තෙක් තමන්ට හෝ පවුලේ කිසිවෙකුට පියා සමග සම්බන්ධකම් පැවැත්වීමට ඉඩක් ලබා දී නොමැති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම පිළිබඳ කිසිදු ලියවිල්ලක් ලබා දී නොමැති බවත් ඉම්රාන් පවසයි. කොවිඩ් 19 ව්‍යාප්තිය මර්දනය සඳහා ආණ්ඩුව ගෙන ඇති පියවර නිසා තමන්ට පොලිසියට හෝ නීතිඥයන් වෙත යෑම පවා අසීරු වී ඇති බවත්, අධිකරණ කටයුතු විධිමත්ව සිදු නොවීම නිසා පියාට සාධාරණයක් ඉටු කරවා ගැනීමට කිසිදු අවස්ථාවක් නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මෙය වින්දිතයන් ගේ පාර්ශවයෙන් ගත් කල කෙතරම් අසාධාරණ යක් ද?
ලොක්ඩවුන් තත්ත්වය යටතේ සිදු කෙරෙන මේ නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව පෙනී සිටින නීතිවේදිනියක වන මනේකා ඛන්නා ප්‍රකාශ කර ඇත්තේ, පවතින තත්ත්වය නිසා අත්අඩංගුවට ගත් පුද්ගලයන් බන්ධනාගාර තුළ පවත්වාගෙන යන තාවකාලික අධිකරණවලට ඉදිරිපත් කරන බවත්, එම අධිකරණ කටයුතුවලට සම්බන්ධ වීම නීතිඥයන්ට දුෂ්කර වී ඇති බවත් ය. අත්අඩංගුවට ගැනීම් පිළිබඳ තොරතුරු වසන් කිරීමට පොලිසිය කටයුතු කරන බවත්, එම තොරතුරු ඉල්ලා නීතිඥයන්ට අරගල කිරීමට සිදු වී ඇති බවත් ඛන්නා වැඩිදුරටත් පවසන්නීය.
ලංකාවේ තේමාව
මෙවර ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනයේ තේමාව වන්නේ බය, පක්ෂපාතීත්වයෙන් තොර මාධ්‍යකරණයක් යන්න ය. එය ලෝකය පුරා ම අභියෝගයට ලක්වී ඇති කරුණකි. ලංකාවේදී නම්, පසුගිය වසර 15 ක කාලයේ උදාහරණ රැසක් අප සතු ය. මේ වසර 15 ක කාලය තුළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැරගැනීම්, වධහිංසා කිරීම් සහ පහරදීම් සිද්ධි 130 ක් වාර්තා වී තිබේ. මේ සිදුවීම් අතරින් යම් හෝ සාධනීය අපරාධ විමර්ශනයක් සිදු කෙරුණේ සිද්ධි හයකට අදාළව පමණි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, කීත් නොයාර්ට පහර දී වධහිංසා කිරීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, නාමල් පෙරේරාට පහර දීම සහ පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධහිංසා කිරීම යන සිදුවීම් ඒවා වේ. අනෙකුත් සිද්ධි සියල්ල වැලි යට ය. ඇතැම් පහරදීම් හා ඝාතනය කිරීමේ උත්සාහයන් පිළිබඳ ලැබුණු පැමිණිලි පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට සමහර පොලිස් ස්ථාන හිතලා වත් නැති තරම්ය.
නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති 2005 - 2015 සමයේදී මේ අපරාධ 130 න්, 126 ක්ම සිදුව ඇත.. ඒ සිදුවීම් ගැන කියමින් බලයට පත් මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇපයෙන් බේරීමට සිදුවීම් හයක් ගැන ඇදි ඇදී යන විමර්ශන කළේය. ඒවා අවසන් කිරීමට කිසිදු අවස්ථාවක ඒ ආණ්ඩුවෙන් විමර්ශකයන්ට උත්තේජනයක් සැපයූවේ නැත. ඒ වෙනුවට බාධාකිරීම් රැසක් සිදු වූ අතර, නීතිපති දෙපාර්තමේන්තුව හරහා එම සිදුවීම්වලට අදාළ අදිකරණ ක්‍රියාමාර්ග ප්‍රමාද කිරීම ද සිදු වූ බවට සාධක පවතී.. දැන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ අදාළ සිදුවීම් හය පිළිබඳව පවා විමර්ශන කළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට, වෙනත් අංශවලට යවා තිබේ. එම විමර්ශනවල මූලිකත්වය ගෙන කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට පරණ – පුරුදු ද්‍රෝහී ලේබලය ඇලවූයේ එම විමර්ශන අඩාල කිරීමටත්, ඒවාගේ විශ්වාසවන්තභාවයට හානි කිරීමටත් ය. දැන් ආණ්ඩුවට හිතවත්, කුප්‍රකට විමර්ශන වාර්තා ඇති නිලධාරීන් අතට එම විමර්ශන භාර දී තිබේ. සිදුවීම් සිදුවන්නේ එසේ ය.
ලෝකයේම අදහස් ප්‍රකාශනයේ නිදහස ඇත්තේ අභියෝගයක ය. එය ලංකාවේදී විශේෂ වන්නේ හුදෙකලා අරගල කිරීමට සිදුවීම නිසා ය. දේශපාලන පක්ෂ කන්ණාඩිවලට නතු වූ, බරපතළ ස්වයං වාරණයකට යටත් වූ මාධ්‍යවේදී ප්‍රජාවක් අප සතු ය. කවර තත්ත්වයක් යටතේ වුවද එක් විය යුතුමය. අවශ්‍යම මොහොතේ අවශ්‍යම දේ නොකරන්නේ නම්, ඒ සඳහා තවත් අවස්ථාවක් කිසි දිනෙක උදාවන්නේ නැත. හුදු වාසි ප්‍රයෝජන තකා නිහඬ වීම දීන ක්‍රියාවකි. ජීවිත අවදානමක් ද ගෙන පෙරට එන්නෝ කිසිවිට තනි නොකළ යුතුය. නිදහස වෙනුවෙන් වූ සටන එකමුතුව ජය ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.
දිල්ශාන් කීර්තිසර