මීට අවුරුදු ගනනාවකට ප්‍රථම - ඒ කියන්නේ 1990 දශකයේ අග භාගයේ - භාතිය සහ සංතුෂ් පලමුවරට ‘වසන්තයේ’ නම් ගීතය ගායනා කරමින් සිංහල සංගීත ලෝකයට ප්‍රවිෂ්ට වූහ. මේ දෙපොලගේ සංගීත ආගමනය එවකට මහත් ආන්දෝලනයක් ඇති කලේ ඔවුන් ඇතැම් පැරණි සිංහල ගීතවලට ඉංග්‍රීසි බසින් යෙදෙන රැප් එකතු කොට ඒවා යලි ගායනය කල නිසාය. එකල ඔවුන්ට විරුද්ධ වූ ප්‍රවීණයින් අතර ප්‍රමුඛයෙක් වූයේ වික්ටර් රත්නායකය. එක්තරා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් වික්ටර් රත්නායක ඒ කාලයේ පැවසුවේ මේ යන විදියට ගියොත් සීගිරි අප්සරාවන්ට බිකිනි අන්දනු ඇති බවත්, මඩොල් දූවේ උපාලි සහ ජින්නා දූපතෙහි සමලිංගික රැගුම් පානු දැක්වෙන චිත්‍රපට නිර්මාණය වනු ඇති බවත්ය.
භාතිය සංතුෂ් ලංකාවේ සංගීතය තුල එක්තරා විධිහක නව ප්‍රවණතාවයක පුරෝගාමියෝ වෙති. වික්ටර් රත්නායක පන්නයේ ප්‍රවීණයෝ සංගීතය කල යුගය - ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවත නවකථාවේ විස්තර වන - ප්‍රේමකීර්ති හා සුමනා නෙල්ලම්පිටිය වැනි අය ගුවන්විදුලිය තුල ආධිපත්‍යය දැරූ යුගයයි. මේ යුගයේ සිංහල සංගීතයේ අධිපති ධාරාව නිර්වචනය වූයේ වාණිජ්‍යමය ප්‍රේරණයන් තුලින් නොවේ. 90 දශකය මැද භාගයේ ඇති වූ එෆ්එම් ගුවන් විදුලි ධාරාව විසින් වික්ටර් රත්නායකලා ‘අපි ඔක්කොම රජවරු’ ලෙස සිටි යුගය අවසාන කල අතර වාණිජමය ප්‍රේරණයන් සහ සංගීත කලාව අතර වඩා කිට්ටු සුසම්බන්ධීකරණයක් ඇති වූ නව යුගයක් මේ කාලය තුල මෝදු වී ආවේය. භාතිය සහ සංතුෂ් කිරිකෝඩු සිතට ආදී ගීත දමිල භාෂාව මුසු කොට නිර්මාණය කලේ ඇයි? මේ ගීතවල අපූර්වත්වය එලෙස තිබිය දී වෙලදපොල දෙස බලාගෙන සිංදු නිර්මාණය කිරීම යන්න එන්න එන්නම ප්‍රබල ප්‍රවණතාවයක් ලෙස මේ කාලය තුල තහවුරු වන්නට විය.
ඉතාම අශ්ලීල අන්තය වෙත ගෙන ගිය තැනැත්තා ලෙස ඉරාජ් වීරරත්න
භාතිය සංතුෂ්ගෙන් ඇරඹි මෙම පසු නූතන ප්‍රවණතාවය පසුකාලීනව එහි ඉතාම අශ්ලීල අන්තය වෙත ගෙන ගිය තැනැත්තා ලෙස ඉරාජ් වීරරත්න සැලකිය හැක. යූ ටියුබ්වලින් ලැබෙන ආදායම අනුව තීන්දු වන ඉරාජ්ගේ මියුසික් වීඩියෝවල අන්තර්ගතය පසුගිය කාලය තුල සිංහල සමාජයේ ජනප්‍රිය සංස්කෘතිය තුල බෙහෙවින් කථා බහට ලක්වූයේය. මේ ජනප්‍රිය වෙලද මියුසික් වීඩියෝවල පරාසය අතිමහත්ය. ස්ත්‍රී සමලිංගිකත්වය භාණ්ඩකරනයට ලක්වන සිංදුවල සිට බීඩීඑස්එම් ලිංගික චර්යාවන් උත්කර්ෂයට නැංවෙන ඊනියා දර්ශන දක්වා ව්‍යාප්ත වූවකි මෙකී මියුසික් වීඩියෝවල පරාසය.
කෙසේ වූවද සිත්ගන්නා සුලු කරුණ නම්, පසුගිය වසර කිහිපයක කාලය තුල ඉරාජ් වීරරත්න නම් ව්‍යාපාරික-සංගීතඥයාගේ අනන්‍යතාවයට සමගාමීව තවත් අනන්‍යතාවයක් වර්ධනය වීමය. ඒ ඉරාජ් වීරරත්න නම් වූ ජාතිහිතෛශියාගේ අනන්‍යතාවයයි. රණවිරුවන්ට උපහාරය දැක්වීම ආදී සාමාන්‍යයෙන් ජනප්‍රිය ජාතිහිතෛශී ඇගවුම්වලින් ආරම්භ වූ මේ අනන්‍යතාවය මේ වනවිට එහි උපරිමය වෙත ලගා වී තිබෙනු දැකීමට පුලුවන. අද වනවිට ඉරාජ් යනු හුදෙක් සංගීතඥයෙක් පමණක් නොව රට දැය සමය වෙනුවෙක් කැපවූ දෑ හිතකාමියෙකි. ඒ අනුව ඉරාජ් වීරරත්න ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරගැනීම උදෙසා වූ සටනේ පුරෝගාමියෙක් ලෙස පෙනී සිටී. සිංහල බෞද්ධත්වයට වින කටින සන්නස්ගල ආදීන්ගේ රෙදි ගැලවීම වෙනුවෙන් හඩ නගයි. රණවිරුවන් දංගෙඩියට යවන යහපාලන ආණ්ඩුවට එරෙහිව දෙස් දෙවොල් නගයි. මිනුවන්ගොඩ මුස්ලිම් නිවාස සහ ව්‍යාපාර ගිනිබත් කිරීමට දායක වූ මධුමාධව අරවින්දව සිය විකාශනයන් වෙත කැදවා සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සිහි කරමින් අන්‍යොන්‍ය වසයෙන් හස්ත සේවනයේ නිමග්න වෙයි.
වික්ටර් රත්නායකලාගේ කාලය මේ වනවිට අවසන් වී ඇත වර්තමානය අයිති වන්නේ ඉරාජ් වීරරත්න වර්ගයේ ජාතිහිතෛශීන්ටය
කෙසේ වුවද, උත්ප්‍රාසය නම් සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් වත්මන, එනම් 2019 දී මෙලෙස වීරයෙක් ලෙස පෙනී සිටින්නේ මීට දශක කිහිපයකට ප්‍රථම වාණිජ සංගීත ධාරාව විසින් සිංහල සංස්කෘතියේ නිර්මලත්වය වනසන බවට සිංහල ජාතිය වෙනුවෙන් එවකට ‘හඩ නැගූ’ වික්ටර් රත්නායකගේ ලිංගික ජීවිතය සිය මියුසික් වීඩියෝවක් තුලින් බයිට් එකට ගත් ඉරාජ් වීරරත්නම වීමැයි! වික්ටර් රත්නායකලාගේ කාලය මේ වනවිට අවසන් වී ඇත. වර්තමානය අයිති වන්නේ ඉරාජ් වීරරත්න වර්ගයේ ජාතිහිතෛශීන්ටය.
ඉරාජ් වීරරත්න ව්‍යාපාරික-සංගීතඥයාගේ භූමිකාව එලෙස තිබියදී, එය මදෙකට අමතක කොට අපගේ ලිපියේ අනෙක් ප්‍රධාන චරිතය වන එදිරිවීර සරච්චන්ද්‍ර දෙස අප මොහොතකට හැරෙමු. එදිරිවීර සරච්චන්ද්‍ර සිය නම ‘සරච්චන්ද්‍ර’ ලෙස වෙනස් කරගන්නේ 1940 ගණන්වලදීය. ඊට පෙර ඔහුට වූයේ පෘතුගීසි වාසගමකි. බ්‍රිතාන්‍ය පාලන යුගයේ හැදී වැඩී උස්මහත් වූ සරච්චන්ද්‍ර එක්තරා විධිහකට ඒ කාලයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව උගත් සිංහල මැද පාන්තික කොටස් අතර වූ ප්‍රතිවිරෝධය නියෝජනය කරන සංකේතයක් විධිහට සැලකිය හැක. ‘පිං ඇති සරසවි වරමක් දෙන්නේ’ නම් වූ සිය ස්වයං- චරිතාපදානය තුල හෙතෙම බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ පැවැති සංස්කෘතික වාතාවරණය ගැන කදිම විස්තරයක් ඉදිරිපත් කරයි. ඔහු විසින් රචිත ‘වල්මත් වී හසරක් නුදුටිමි’ වැනි නවකථාවක ද මේ ගැන සිත්ගන්නා සුලු චිත්‍රයක් නිරූපිතය.
බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය තුල සිංහල සංස්කෘතිය පිලිබද කිසිදු අනුග්‍රහයක් නොවූ අතර නාගරික සිංහල මැද පංතික සමාජය තුල ඉංග්‍රීසි ඇගයුම් හා සංස්කෘතිකාංග ආධිපත්‍යය ඉසිලීය. සරච්චන්ද්‍ර එක්තරා කාලයක කොලඹ ප්‍රධාන පෙලේ පාසැලක ගුරුවරයෙක් ලෙස සේවය කොට ඇත. ඔහු කියන විධිහට, ඒ පාසැලේ සිංහල කාල පරිච්ඡේදය ලමුන් විසින් සලකනු ලැබ ඇත්තේ විනෝද කාල පරිච්ඡේදය ලෙසය. සිංහල ගුරුවරයාගේ ඉංග්‍රීසි උච්චාරණයට සිනා සීම, ඔහුට කොල ගුලි වලින් ගැසීම ආදිය සදහා ලමුන් වැඩි කාලය වෙන් කල අතර වරෙක ගෙදර වැඩ කරගෙන ඒමට අසමත් වීම ගැන සිංහල ගුරු තෙමේ එක් සිසුවෙක්ගෙන් නිදහසට කරුණු විමසූ විට හෙතෙම පිලිතුරු දී ඇත්තේ ‘ගෙදර වැඩ කරන ලමයා අසනීප වූ නිසා සිංහල අහ ගැනීමට කෙනෙක් හිටියෙ නැහැ’ ලෙසය. සිංහලය කුස්සියේ බස විය. පාසැලේ පෙරදිග සංගීතය ඉගැන්වීම සදහා පන්තියක් පටන් ගැන්මට අපේක්ෂා කල සරච්චන්ද්‍ර ඒ සදහා අවසර ගැන්මට මුල් ගුරුවරයා හමුවීමට ගිය විට විදුහල්පති - මුලින් එය ‘සාමාන්‍ය’ සංගීත පන්තියක් ලෙස වරදවා වටහා ගෙන - මහත් ප්‍රීතියට පත්ව සරච්චන්ද්‍රගෙන් විමසා ඇත්තේ හෙතෙම වැඩියෙන් ආසා කරන්නේ ශොපෑන්ටද? බීතෝවන්ටදැයි කියාය. තමා අදහස් කරන්නේ පෙරදිග සංගීතය ඉගැන්වීම බව සරච්චන්ද්‍ර පැවසූ විට, විදුහල්පති තරමක පුදුමයෙන් අසා ඇත්තේ ‘එහෙම දෙයක් තියෙනවාද?’ යනුවෙනි.
එදිරිවීර සරච්චන්ද්‍රගේ ජීවිතය එක්තරා විධිහකට ගත්තහම සිංහල සංස්කෘතිය සදහා පණ දීමට ගත කල ජීවිතයක් ලෙස සැලකිය හැක. අධිරාජ්‍ය විරෝධී අදහස්වලින් ප්‍රේරණය වූ ඔහුට පටන් ගැන්මට තැනක් නොවීය. ඔහුගේ යුගයේ වෙනත් බොහෝ අය වගේ ඔහු අනුප්‍රාණය සදහා දෑස් යොමු කලේ එවකට විශාල අධිරාජ්‍ය විරෝධී අරගලයක් දියත් වී තිබූ ඉන්දියාව දෙසටය. විවාහ වූ අලුත, නෑදෑ හිත මිතුරන්ගේ සියලු ප්‍රායෝගික උපදෙස් අවවාද නෙතකා හෙතෙම සිය බිරිද සමග ඉන්දියාවේ ශාන්ති නිකේතනය වෙත උසස් අධ්‍යාපනය සදහා විගමනය කරයි. ඒ රවීන්ද්‍රනාත් තාගොර් විසින් පිහිට වූ - සම්මත ධූරාවලිය තුල කිසිදු වැදගත්කමක් නොමැති, එහෙත් භාරතයේ සංස්කෘතික ප්‍රබෝධය සදහා මහත් මෙහෙයක් ඉටු කල - එම සුප්‍රකට අධ්‍යනායතනයේ ශිල්ප හැදෑරීම පිණිසය. යලි ලංකාවට පැමිණි විට රැකියා වෙලදපොල තුල අලෙවි කල හැකි ශිල්පයක් ඔහු සතුව නොවීය. එවකට ගුවන් විදුලියේ සිතාර් වාදනය කොට ඇතැම් විට හෙතෙම සිය ජීවිකාව උපයා ගත්තේය. පසුව පේරාදෙණිය සරසවිය හා සම්බන්ධව ඔහු නාට්‍ය හැදීම පටන් ගන්නා කාලයේ සිංහල නාට්‍ය සංස්කෘතිය යනුවෙන් යමක් ලංකාවේ නොවීය. සිංහල නාට්‍ය යනුවෙන් තිබුණේ වැඩිම උනොත් සිංහලට අනුවර්තනය කරන ලද බටහිර නාට්‍ය රගදැක්වීම්ය. ඉන් සෑහීමට පත් නොවූ සරච්චන්ද්‍ර පැරණි නූර්ති හා නාඩගම් අධ්‍යයනය කරමින්, කාලය හා වෙලාව ගෙන ගම් බිම් වල සැරි සරා සිංහල ජන ගී මොනවාදැයි පර්යේෂණ කරමින්, තොවිල් පවිල්වල මැනැවින් ගායනා කල අයවලුන් තම නිවෙසට කැදවා කෑම බීම දී නවත්වාගෙන නව නාට්‍ය ගී සෑදීම සදහා අති මහත් උත්සාහයක් දැරුවේය. සිංහල නාට්‍ය කලාවක් නිර්මාණය කිරීමට හෙතෙම දැරූ මෙම වෑයම නිස්සරණාධ්‍යාශයෙන් යුක්තව කෙරුණු උත්සාහයෙකි.
ස්වදේශීය නාට්‍ය සංස්කෘතියකට පණ දීමට සරච්චන්ද්‍ර ගත් උත්සාහය එවකට ලංකාව තුල නැගෙමින් ආ පුලුල් ප්‍රවණතාවයක කොටසකි. ප්‍රබන්ධ සාහිත්‍යය ක්ෂේත්‍රය තුල මේ හා සමාන භූමිකාවට පණ දුන් අනෙක් පුද්ගලයා වූයේ මාර්ටින් වික්‍රමසිංහය. වික්‍රමසිංහගේ සම්පූර්න ව්‍යායාමය නූතන සිංහල නවකථා කලාවක් නිර්මාණය කිරීම සදහා වූ උත්සාහයක් ලෙස හැදින්වීමට පුලුවන. හෙතෙම බටහිර නූතන නවකථාවෙන් ආභාෂය ලැබීය. එහෙත් එම ආභාෂය මත, සිංහල නවකථා කලාව යනුවෙන් අනන්‍ය වූ යමක් නිර්මාණය කිරීමේ අභිලාෂයෙන් හෙතෙම පෙලුණේය. සරච්චන්ද්‍ර වැනි ශාස්ත්‍රාලීය උගතෙක් නොවූ වික්‍රමසිංහ - අන්තර්ජාලය හෝ එබදු කිසිදු පහසුකමක් නොතිබුනු 1950, 60 යුගයේ - සමකාලීන ලෝක සාහිත්‍ය ප්‍රවණතා ගැන දැක්වූ පරිචය විස්මය එලවන සුලුය. ‘නවකථාංගය සහ විරාගය’ වැනි විචාර කෘතියක් තුල හෙතෙම සාංදෘෂ්ටිකවාදය ආදී සමකාලීන දාර්ශනික-සාහිත්‍යමය ප්‍රවණතා ගැන සාකච්ඡා කරන විධිහ මේ පරිචයට නිදසුන් සපයයි. නවකථාවලට අමතරව සංස්කෘතික කරුණු ගැන වික්‍රමසිංහ කෘති ගණනාවක් රචනා කලේය. සමාජවාදී අදහස් වෙත ඇගෑලුමකම් පෑ හෙතෙම බුදු සමය, මාක්ස්වාදය ආදී කරුණු ගැන පෘථුල ලෙස සිය ලේඛනවල දී අදහස් දැක්වීය. මේ අදහස්වල සාවද්‍ය නිරවද්‍යතාවය පසෙක තිබිය දී සැලකිල්ලට ගත යුතු කාරණාව වන්නේ එම අදහස් පෑම්වලදී ඔහු විසින් ප්‍රකට කල ස්වීය (original) ගති ස්වභාවයයි.
සරච්චන්ද්‍ර වේවා මාර්ටින් වික්‍රමසිංහ වේවා සැලකිය යුත්තේ පශ්චාත් යටත් විජිත පසුබිමක් තුල සිංහල සංස්කෘතිය යන්නට නව පණක් දීමට උත්සාහ කල අයවලුන් ලෙසය. එහෙත් මේ අයගේ ප්‍රවේශයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ දෙකකි. පලමුව, ඔවුහු ස්වදේශිකත්වය පුනර්ජීවනය සදහා එලැඹෙන්නේ නූතනත්වය විසින් ඔවුන් වෙත සැපයූ ආවේශය තුලිනි. ද්වි-භාෂික උගතුන් වූ ඔවුන් තුල වූ අධිරාජ්‍ය විරෝධය සරලමතික බටහිර විරෝධයක් නොවීය. දෙවනුව, සිංහලත්වය නගා සිටුවීම සදහා ඔවුන් කල වෑයම තුල කිසිදු විටෙක පටු ජනවාර්ගික අගතියක් ගැබ් වූයේ නැත. මේ කිසිදු අයෙක් දෙමල හෝ මුස්ලිම් විරෝධීහු නොවූහ. මේ අයගේ අභිලාෂය වූයේ සිංහල සංස්කෘතිය යන්නට ප්‍රබුද්ධ අර්ථ විවරණයක් සැපයීමය. ප්‍රබුද්ධත්වයේ ආලෝකය තුල සිංහල අනන්‍යතාවය යන්න යලි-නිර්වචනය කිරීමය. මෙම ලියුම්කරුගේ පෞද්ගලික අදහස, වික්‍රමසිංහගේ විරාගය වැන්නක් ඉංග්‍රීසියට පරිවර්තනය නොවීම මහත් අවාසනාවක් බවය. බටහිර රටවල පරිභෝජනවාදයෙන් හති වැටුනු ජන පිරිස්වලට සරිලන ඊනියා මානසික විරේකයක් සපයන පාවුලෝ කොයියෝගේ ඇල්කෙමිස්ට් බදු නවකථා සමග සසදන විට විරාගය වැන්නක් ඉතා ඉදිරියෙන් සිටී. අභාග්‍යය නම් එබදු ව්‍යායාමයකට කිසිවෙක් විසින් හෝ මුල නොපිරීමය
භයංකර මුස්ලිම් විරෝධී කතිකාවතට හසුව මුරුගසන් වරුසාවට තෙමුණා සේ සිංහල සමාජයේ පොදු ජනයා ඒ මේ අත දුවමින් සිටිති
පසුගිය අප්‍රේල් විසි එක් වනදා සිදු වූ පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඉක්බිති ලංකාව අවිචාර සමයක් වෙත එලැඹ තිබේ. මේ සමය විස්තර කිරීමට ‘අවිචාර සමය’ යන්නට වඩා උචිත වෙනත් වචනයක් නොමැත. මේ අවිචාර සමය තුල ප්‍රශ්න කිරීම හෝ සැක කිරීම අපරාධයක් බවට පත්ව තිබේ. ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට අටක් පමණ වන සුලුතරයක් ඉලක්ක කොට ගත් මහත් ද්වේශසහගත ව්‍යාපාරයක් දියත් වී ඇත. අවස්ථාවාදී දේශපාලනඥයින්, ව්‍යාපාරික-ජනමාධ්‍ය සහ තත්වාරක්ෂකවාදී භික්ෂු සංස්ථාව විසින් දියත් කොට තිබෙන මෙම මෙහෙයුම එක්තරා විධිහක ‘ශුද්ධ වූ යුද්ධයක්’ නොහොත් ජිහාඩයකි. සතියෙන් සතිය අලුත් පුවත් මැවේ. එක් සතියක මුස්ලිම් පල්ලිවලින් සමූහ වසයෙන් හමුවන කඩු කිණිසය. ඒ අනුව ගෙතෙන කඩු කිණිසි ආදී ප්‍රාකෘතික ආයුධවලින් කපා කොට ලංකාව අල්ලා ගැනීමට මුස්ලිමුන් කල සැලසුම් ගැන වූ ලොමු දැහැගැන්වෙන කුමන්ත්‍රණකාරී කථාවන්ය. අනෙක් සතියේ කුරුණෑගල පෙදෙසෙහි වූ මුස්ලිම් වෛද්‍යවරයෙක් දහස් ගණනක් සිංහල බෞද්ධ මවුවරුන් වද භාවයට පත්කිරීම පිලිබද කුමන්ත්‍රණ ප්‍රවෘත්තීන්ය.
මේ වනවිට එය එක් මුස්ලිම් වෛද්‍යවරයෙක්ගේ කථාවක සිට පොදුවේ ‘මුස්ලිම් වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන්’ දක්වා විහිදෙන සෙයක් පෙන්වයි. මාධ්‍ය හමුවක් කැදවන එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා (මැයි 28) ප්‍රකාශ කොට සිටියේ පේරොදෙණිය රෝහලේ ද මෙබදු වද සැත්කම් සිදුවීම ගැන පුවත් තමා වෙත දැනගන්නට ලැබුණු බවයි. අතුරලියේ රතන උන්නාන්සේ ද එම කථාව එලෙසම දැන් ශපථ කොට සිටී. මේ අනුව ඉදිරියේ දී වෛද්‍ය සේවයේ නිමග්න සියලු ආකාරවල මුස්ලිම් වෛද්‍යවරුන් ඉලක්ක කොට ගත් ද්වේශ සහගත ව්‍යාපාරයක් අපේක්ෂා කිරීමට පුලුවන.
මේ භයංකර මුස්ලිම් විරෝධී කතිකාවතට හසුව මුරුගසන් වරුසාවට තෙමුණා සේ සිංහල සමාජයේ පොදු ජනයා ඒ මේ අත දුවමින් සිටිති. පසුගිය දා සිරෙන් නිදහස් කල ‘පූජ්‍ය’ ඥානසාර හිමි තෙම මෙම සන්දර්භය තුල ජාතික වීරවරයෙක් බවට පත් වී සිටී. උන්වහන්සේ වූ කලී සිංහල ජාතියේ වීරත්වයේ ප්‍රතිමූර්තියය. තුන් කල් බලා ඉස්ලාම් අන්තවාදයේ උවදුර දිවැසින් දුටු මුනිවරයාණන් වහන්සේය. රාජපක්ෂ පාලන සමය තුල රාජ්‍යානුග්‍රහය සහිතව රට පුරා ඉස්ලාම් භීතිකාව වැපිරූ, 2014 වර්ෂයේ අලුත්ගම ජාතිවාදී කෝලාහල සදහා කැදවුම් කල, මියන්මාරයේ මුස්ලිම් විරෝධී ජනඝාතක මෙහෙයුම් සදහා නායකත්වය දුන් අශීන් විරතු භික්ෂුව රතු පලස් මතින් ලංකාවට කැදවා උපහාර පුද කල මේ මුනිවරයාණන් තෙම ඉදිරියේ සියල්ලෝ දැන් එකත්පස්ව සිටිති. රිෂාඩ් බදුර්දීන් අභිමුව සිංහාවලෝකන පෑ හිරු රූපවාහිනියේ රංගන හා සුදේව මාධ්‍යවේදී දෙබෑයෝ උන්වහන්සේගේ බල පරාක්‍රමය හමුවේ සිය නගුට වනමින් බැගෑපත් සෙයියාවෙන් උන්වහන්සේ වෙත ෆුල් ටොස් පන්දු දානය කරමින් සිටිති. මේ අතර ඉරාජ් වීරරත්න ද ඥානසාර ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධව වැඩසටහන් නිෂ්පාදනය කරමින් සිටී. මේ තරම් වීරයෙක් සිංහල ජාතිය අභිමුව මින් පෙර පහල නොවූවා වැන්න. මේ තරම් විශිෂ්ටයෙක් අප සිංහල ජාතිය වෙත ඉතිහාසයේ අන් කිසිදු දිනෙක වැඩම නොකලා වැන්න.
ගුණදාස අමරසේකර ලංකාවේ පැරණි වාමාංශය ගැන ඉදිරිපත් කල විවේචනය එක්තරා අර්ථයකින් ගත්තහම නිවැරදි යැයි කිව හැක. සිංහල දෙමල ආදී වූ අනන්‍යතා සපුරා බැහැර කොට, ජලාශයක කිමිද ගොඩ එන විට පැරණි කුනු කන්දල් සෝදා හැරියා සේ රටේ ජනයා පංති අනන්‍යතාවය පමණක් රැගෙන සමාජවාදී කතිකාවේ ප්‍රතිඵල ලෙස යලි මතු වනු ඇතැයි පැරණි වාමාංශය විශ්වාස කල බවට අමරසේකර ඔවුන් වෙත විවේචනයක් ගෙන එයි. මේ විශ්වාසය බොලද විශ්වාසයක් බව සත්‍යයකි. සිංහල ජනයා සිංහල අනන්‍යතාවයද, දමිල ජනයා දමිල ජනන්‍යතාවයද, මුස්ලිම් ජනයා මුස්ලිම් අනන්‍යතාවය ද පන්ති අනන්‍යතාවයේ නාමයෙන් අත් හරිනු ඇතැයි සිතීම ප්‍රායෝගික හා යථාර්තවාදී නොවන කල්පනාවකි. ඒ අනුව බලන විට සිංහල අනන්‍යතාවය යන්න තවත් බොහෝ කාලයක් තිස්සේ පවතිනු ඇත.
එහෙම නම් ප්‍රශ්නය වන්නේ සිංහල අනන්‍යතාවය යනු කවරක්ද යන්නය. සිංහල අනන්‍යතාවය යන්නෙහි අනාගතය කවරාකාරද යන්නය. දැනට පෙනෙන්ට තිබෙන විධිහට සිංහල අනන්‍යතාවය යන්න නිර්වචනය වීමට නියමිතව ඇත්තේ ඉරාජ් වීරරත්න-ගලබොඩ අත්තේ ඥානසාර සුසංයෝගය ප්‍රකාරවය. එක් අතෙකින් සිංහලත්වය යන්න ලංකාවේ ජීවත් වන අනෙක් ජනවර්ගයන්ට එරෙහි සතුරු අනන්‍යතාවයක් ලෙස පිහිටුවන පටු ස්වෝත්තමවාදී කතිකාවකි. අනෙක් අතින්, එම කතිකාව සිය ව්‍යාපාරික-වාණිජ්‍යමය අභිලාෂයන් සදහා ගසා කන සරලමතික වෙලද-ව්‍යාපාරික කතිකාවකි ( ඉරාජ් වීරරත්නටත් වඩා මේ කතිකාවේ වඩා ප්‍රබල නියෝජනය ලැබිය යුත්තේ දිලිත් ජයවීර මහතාට සහ රෙනෝ ද සිල්වා මහතාටය). සිංහල අනන්‍යතාවයට වත්මනෙහි ලැබී තිබෙන අර්ථය තේරුම් ගත යුත්තේ මෙම කතිකාවන් දෙකෙහි සුසම්බන්ධීකරණයක් වශයෙනි. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, විජේදාස රාපක්ෂ ආදීහු කරන්නේ මෙම සුසම්බන්ධිත කතිකාව මත දේශපාලන බලය උදෙසා බඩ පිනුම් ගැසීමකි.
මේ මග අන්තරාදායක වන්නේ එමගින් පීඩාවට ලක්වීමට නියමිත දෙමල හා මුස්ලිම් සුලු ජනවර්ගවලට පමණක් නොවේ. එය සිංහල ජනවර්ගයාටම අන්තරාදායක වූවකි. ජාත්‍යොන්මාදවාදයේ නාමයෙන් ස්වකීය දෛනික සමාජ ආර්ථික ප්‍රශ්න අමතක කොට, ජනවාර්ගික-ජාතිකවාදී හැගීම් අවුලන දේශපාලන-ව්‍යාපාරික ප්‍රභූ තන්ත්‍රය වෙත විසිල් ගසන සාමාන්‍ය සිංහල පොදු ජනයාගේ ඉරණම පසෙක තැබුවද, මෙම මග විසින් සාමාන්‍ය සිංහල ජනයා වෙත උරුම කර දීමට නියමිත වන්නේ කිසිදු විචාරාත්මක අන්තර්ගතයක් නොමැති, බෙලහීන සංස්කෘතික අන්තර්ගතයකින් සහ අප්‍රබුද්ධ දෛනික පැවැත්මකින් යුක්ත පරිහාණිසහගත එදිනෙදා ජීවිතයකි. දිලිත් ජයවීර-රෙනෝද සිල්වා දෙබෑයන් විසින් ප්‍රබන්ධ කරන ඕනෑම කෙප්පයක් ගිලිමින්, සතිය පුරා ඒ කෙප්පය වමාරා කමින්, ඒ කෙප්පය වමනය කොට ඒ වමනය යලි අනුභව කරමින් තලු මැරීමට නියමිත මහත් කාලකණ්ණි සහගත පැවැත්මකි.
සිංහල ජනයාගේ අනාගතය යනු මේ කාලකණ්ණි පැවැත්මද? සිංහල ජනයාගේ උරුමය යනු ඉහත කී වෙලද දෙබෑයන්ගේ න්‍යාය පත්‍රය මත නැටවෙන මෙම අවිචාරාත්මක යථාවද?
මෙම අවිචාරවත් මගට පටහැණිව සිංහල පොදු ජනයා වෙත විවෘත තවත් මාවතක් ඇත. එම මාවත වූ කලී ප්‍රබුද්ධත්වයේ ආලෝකය තුල සිංහලත්වය යන්න තේරුම් ගැනීමට ආරාධනා කරන, සිංහලකම යනු පටු ව්‍යාපාරික-දේශපාලනික අභිලාෂයන් සදහා ගණිකා වෘත්තියෙහි යෙදෙවෙන සරලමතික සටන් පාඨයක් නොව පුලුල් ශිෂ්ටාචාරමය ව්‍යාපෘතියක් සදහා දායක විය හැකි වටිනාකමක් බවට සංඥා කෙරෙන - එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, වල්පොල රාහුල, යක්කඩුවේ ප්‍රඥාරාම, උඩුකැන්දවෙල සරණංකර ආදීහු විසින් නියෝජිත මාවතය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන්න පමණක් නොව සියලු දෙනා සදහා සමානාත්මතාවය යන්න පාදීය ශික්ෂාවක් ලෙස සැලකෙන බුදු සමයේ අනන්‍ය වූ වටිනාකම් මගින් නිර්වචනය වූ මගක්ය එම මාවත. අවාසනාවට මෙන්, මෙම විකල්ප මාවත යෝජනා කරන සුධීමත්හු වත්මන් සිංහල සමාජය තුල දුලභය. එම දුලභත්වය එලෙස තිබියදී, කිව යුතු වන්නේ ඉහත කී අධිපති මගට වෛකල්පිකව එබදු මගක් ද ඇවැසි නම් පවතින බවය.
මේ වරණය විවෘතය. තමුන් අනුදැකිය යුත්තේ ඉරාජ් වීරරත්න-ගලබොඩඅත්තේ ඥානසාර මාවතද, එදිරිවීර සරච්චන්ද්‍ර-උඩුකැන්දෙවෙල සරණංකර මාවත ද යන්න තීරණය කිරීමේ වරණය මේ මොහොතේ සිංහල සමාජයේ පොදු ජනයා සතුය.
( Akshaya.com)