සීතල සුළං හමන, වලාකුළු ගතේ දැවටෙන උස් කඳු මුදුනක සිට පරිසරයේ සුන්දරත්වය විඳින්නට අපි කැමැත්තෙමු. එය මිහිරි අත්දැකීමක් වන්නේ සංචාරකයන් ලෙස අප එවන් ස්ථානයකට ගොස් කෙටි කලක් එහි ගත කරන බැවිනි.
එහෙත් වසරේ මාස හයක් හමන සැඩ සුළං අතරේ සීතලට වෙව්ලමින් උස් කඳු මුදුනක සදා කාලිකව හුදෙකලාව දිවි ගෙවන්නෙකුට මෙය ඉතා කටුක අමිහිරි අත්දැකීමක් බව සබරගමුව පළාතේ ඉහළින්ම පිහිටි ජනාවාසය ලෙස සැලකෙන 'නැග්රැක්' ගම්මානයට ගිය අවස්ථාවේදී මට අවබෝධ විය.
මුහුදු මට්ටමේ සිට අඩි 6990ක් ඉහළින් වතු නිවාස සහිත මේ ගම්මානය පිහිටා තිබේ.
බලන්ගොඩ, 'නොන්පරේල් වතුයාය' (සාමාන්‍ය ව්‍යවහාරයේ 'නන්පේරියල් වතුයාය' - Nonpareil Estate) හරහා, අතිශය දුෂ්කර සහ ත්‍රාසයජනක කඳුකර මාර්ගයක් ඔස්සේ ගිය විට නැග්රැක් වෙත ළඟා විය හැකිය. බලන්ගොඩ නන්පේරියල් හංදියේ සිට එතැනට ඇති දුර 21Km කි.
නගරයට යෑමට අවශ්‍ය නම් ගම්වැසියන් නැග්රැක් සිට 14Km ක් පා ගමනින් නන්පේරියල් විවේගානන්ද විද්‍යාලය අසලට පැමිණ බස් රථයට ගොඩ විය යුතුය. එහෙත් එම බස් රථය කෙරෙහි බොහෝ විට විශ්වාසය තැබිය නොහැකි බව ජනතාව පවසති.
සබරගමුවේ උසම ජනාවාසය
නැග්රැක් ගම්මානය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඉඹුල්පේ ප්‍රදේශීය සභා බලප්‍රදේශයට අයත් වේ.
නන්පේරියල් වතු යායේ සේවය කරන පවුල් 35ක්, එහි සේවයෙන් ඉවත් වූ අය සහ වෙනත් ප්‍රදේශවල රැකියාව සදහා ගොස් මාස ගණනකට පසු නිවසට පැමිණෙන පිරිසක් මෙහි පදිංචිකරුවෝ වෙති.
මා එහි යන විට රෙදි පොරවා ගෙන සීතලට ගැහෙමින් වයෝවෘද්ධ පුද්ගලයෙකු සහ කාන්තාවක් එළිමහනේ සිටිනු දක්නට ලැබිණි.
''ඇයි මේ සීතලේ එළියට වෙලා ඉන්නේ?'' මම ඔවුන්ගෙන් ඇසුවෙමි.
''හුළං සැරයි. ලැයින් ටික ඔක්කම කඩාගෙන යනවා. ඉන්න කාමරයක් නෑ. හුළං ටිකක් අඩුවෙනකන් අපි දෙන්නා මෙතනට වෙලා ඉන්නවා.'' යනුවෙන් 72 වැනි වියේ පසුවන අයි. එම් පෙරුමාල් සඳහන් කළේය.
ගස්කොලන් ඇඹරි යයි. වතු නිවාස පෙළේ සෙවිලි කළ ඇතැම් තහඩු සුළං පහරට ගැලවී ගොසිනි. තහඩු සුළඟට ගසාගෙන යෑම වැළැක්වීම සඳහා වහල මත ගල්, ලී ආදිය බරට තබා තිබේ. ඇතැම් නිවාස තුළට ගොස් බලන විට හොඳින් අහස පෙනේ. අවුව, වැස්ස සහ හිරු එළිය සියල්ලෙන් ඔවුහු පීඩා විදිති. නිවාස පෙරළීම වළක්වා ගැනීම සඳහා නිවාස පෙළ පිටුපසින් සුළඟට බාධකයක් ලෙස විශාල තාප්පයක් බැඳ තිබුණ ද සුළඟින් බේරීමට එය ප්‍රමාණවත් නැත.
නැග්රැක් ගම්මානයට විදුලිය ලබා දී තිබේ. නිවාස අබලන්වීම සහ පවුලේ සාමාජිකයන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි.
'අපි කන හැටි ලිපා දනී'
''අපි එක කාමරේ හය දෙනෙක් ඉන්නවා. අපේ ගෙදර නම් ලයිට් නෑ. පඩිය මදි ලයිට් ගන්න. කන්නෙත් හරි අමාරුවෙන්. අද දවල්ට රොටියක් හදා ගන්නවා. අවුරුදු 15ක දුවෙක් ඉන්නවා. වියදම් කරන්න බැරුව එයා ඉස්කෝලේ ගමන නැවැත්තුවා'' යනුවෙන් තමිල් සෙල්වි හැඬු කදුළෙන් පැවසුවාය.
මම ඇගේ නිවසට යාබද නිවාස හතරකට ගොස් නිවැසියන් සමග කතාබහ කළෙමි. ඉන් නිවාස තුනක දවල් ආහාරයට තිබුණේ බත් පමණි. කිසිඳු ව්‍යංජනයක් නැත. එක් නිවසක පිරිමි දරුවන් දෙදෙනෙක් වූහ. ඔවුන් එදින පාසල් ගොස් තිබුණේ ද නැත.
''නංගිලා දෙන්නෙක් ඉස්කෝලේ හොස්ටල් එකේ නැවතිලා ඉගෙන ගන්නවා. ඒ දෙන්නට තුන්දාහක් ගෙවන්න ඕනා. අපි හැමදාම ගෙදර ඉඳලා කිලෝමීටර් 28ක් ඉස්කෝලෙට ගිහින් එන්න පයින් යනවා. අද වැස්ස නිසා ගියේ නෑ.'' යනුවෙන් එම දරුවෝ පැවසුහ.
එම දරුවන්ට ළඟම පාසල වූ නන්පේරියල් විවේගානන්ද විද්‍යාලය පිහිටා තිබෙන්නේ 14Km දුරිනි. එම පාසලේ 9 ශ්‍රේණිය දක්වා පමණක් ඉගැන්වීම් කෙරේ. 9 ශ්‍රේණියට ඉහළ අධ්‍යාපනය ලබන දරුවන් 30km වඩා දුරින් පිහිටි බලංගොඩට යා යුතුය.
'ඩිස්පැන්සරිය වහලා'
සබරගමුව පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදනවලින් ඉදි කළ නැග්රැක් සෞඛ්‍ය මධ්‍යස්ථානය එවක ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් විසින් 2015 නොවැම්බර් 20 වැනි දින ජනතා අයිතියට පත් කරන ලද බව දැක්වෙන සමරු පළකයක් එහි වේ.
මහජන මුදල් වැය කර ඉදිකළ එම ගොඩනැගිල්ල අදටත් වසා දමා ඇති බව දැනගන්නට ලැබිණි.
''ඩිස්පැන්සරිය හදනකොට කිවුවා සතියකට සැරයක් ඇවිල්ලා බෙහෙත් දෙනවා කියලා. ඒක හදපු කාලේ ඉඳලා අද වෙනතුරු ඩොක්ටර් කෙනෙක්වත්, මිඩ්වයිෆ් මිස් කෙනෙක්වත් ඇවිල්ලා නෑ. මේක තියෙන විදියවත් ඒ අය දන්නේ නෑ.'' යනුවෙන් ජී.නාගේශ්වරන් කියා සිටියේය.
වසා දමා ඇති 'ඩිස්පැන්සරිය'
මහමග දී ලැබුණු දරුවා
''රෑ අමාරුවෙලා අපි යනකොට ත්‍රීවිල් එකේදිම බබා ලැබුණා'' - එස්. නාගේෂ්වරී
යමෙකු කිසියම් මාර්ගයක දුෂ්කරතාව ගැන සඳහන් කිරීමේ දී 'මේ පාරේ ගැබිණි මවක් ගියොත් රෝහලට යන්න කලින් බබා ලැබෙනවා' යනුවෙන් කියන අයුරු මීට පෙර අසා තිබුණ ද සැබවින්ම එම අත්දැකීමට මුහුණ දුන් මවක් මට නැග්රැක් ගමනේදී හමුවිය. 2020 ජනවාරි 23 වැනිදා එම දරු ප්‍රසූතිය මහමග දී සිදුව තිබේ.
''රෑ අමාරුවෙලා අපි යනකොට ත්‍රීවිල් එකේදිම බබා ලැබුණා. 1990 ට කතා කරහම බබා වෙන් කරන්නේ නැතුව පහළ ඉස්කෝලේ ළඟට අරං එන්න කිවුවා. මට පුදුම බයක් දැනුණේ. වත්තේ ඇම්බියුලන්ස් එකවත් ඒ දවස්වල තිබුණේ නෑ.'' යනුවෙන් තමන් මුහුණ දුන් අත්දැකීම එස්. නාගේෂ්වරී විස්තර කළා ය.
''හැමෝම ටවුමට යන්නේ එකම දවසක''
නිවසට අවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා නැග්රැක් වතු සේවකයෙකු සිය නිවසේ පවත්වාගෙන යන කුඩා කඩයක් ඇත. සාමාන්‍ය මිල ගණන් වලට වඩා එහි භාණ්ඩවල මිල වැඩි ය. අත්‍යවශ්‍ය දෙයක් ඉන් මිල දී ගන්නා අතර අනෙක් අවශ්‍යතා සඳහා මාසයකට එක් වතාවක් ඔවුහු නගරයට යති.
''අපි වත්තේ පඩි ලැබුණාම හැමෝම එකතු වෙලා ටවුමට යන්නේ එකම දවසක. මාසෙකට සැරයක් පහළ ටවුමට ගිහින් බඩු අරගෙන ලොරියක එනවා. ලොරියට විසි දාහක් විතර ගන්නවා. එක බඩු මල්ලක් ගේන්න අපි එක්කෙනෙක් රුපියල් 1200ක් විතර ගෙවනවා. '' යනුවෙන් ඔවුහු සිය ජීවන රටාව විස්තර කළහ.
ඇතැමුන් වත්ත හරහා ණය පදනම මත භාණ්ඩ මිල දී ගන්නා බවද ප්‍රකාශ විය.
නැග්රැක් යන මාර්ගය වසා දැමීම
නන්පේරියල් වතු යාය හරහා නැග්රැක් දක්වා යන මාර්ගය වතු පාලනාධිකාරිය විසින් තේ කර්මාන්ත ශාලාව අසලින් ගේට්ටුවක් යොදා වසා දමා තිබේ. වතුයායේ පදිංචිකරුවෙකු නොවන අයෙකු ඒ මාර්ගයේ ගමන් කරන්නේ නම් වතු අධිකාරිවරයාගෙන් විශේෂ අවසරයක් ගත යුතුය.
ඒ තත්ත්වය මත තම ඥාතියෙකුට වුවද බාධාවකින් තොරව ගමට පැමිණීමට හැකියාවක් නොමැති අතර ඇතැම් අවස්ථා වලදී ඉතා දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන අය ද නැවත හරවා යවන බව කේ. සිවකුමාර් පැවසුවේය.
''එලවලා දානවා එන අයව. වාහනයක් ආවොත් එන්න දෙන්නේ නෑ. මමත් ලොකු මහත්තයට කියලා තියෙනවා සර් මගේ නෑදෑයෝ කට්ටියක් එනවා, උඩට එවන්න කියලා. ලොකු මහත්තයා කියනවා මේ ගේට්ටුව උඩින් යවන්න බෑ කියලා. ඒ ගේට්ටුව අරිනවා නම් ලොකු දෙයක් අපිට'' යනුවෙන් ඔහු කියා සිටියේ ය.
මේ පිළිබඳව කළ විමසීමක දී නන්පේරියල් වතුයායේ අධිකාරී සේනාල් දිසානායක පැවසුවේ ගේට්ටුව දමා තිබීම සියලු දෙනාගේ ආරක්ෂාවට හේතු වන අතර එය ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ ඉහළ පාලනාධිකාරිය බවය.
''මම දැනුවත් වෙලා තියෙන්නේ මේක පුද්ගලික පාරක් විදියට. කලින් ඔය ගේට්ටුව තිබුණේ තවත් පහළින්.'' යනුවෙන් වතු අධිකාරිවරයා පැවසීය.
එහෙත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම ප්‍රකාශ කළේ නන්පේරියල් හරහා නැග්රැක් දක්වා මාර්ගය සංවර්ධනය කර තිබෙන්නේ රජයේ වියදමින් වන අතර කිසිවකුට පොදු මාර්ගයක් අවහිර කළ නොහැකි බවය.
එබැවින් ගේට්ටුව ඉවත් කර නැග්රැක් දක්වා මාර්ගය විවෘත කිරීමට දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීමේදී තීරණයක් ගෙන ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරත් සඳහන් කළාය.
අමතර අදායම් මාර්ග අහිමි වෙයි
නන්පේරියල් වත්තේ සේවය කිරීමෙන් ලැබෙන අදායමෙන් නැග්රැක් ගම්මානයේ බොහෝ දෙනා ජීවත් වෙති. එහෙත් වර්ෂා සමයෙදී මෙන්ම වෙනත් හේතු මත දිනපතා වත්තේ සේවය කළ නොහැකිය. එවන් දිනවල කුලී රැකියාවක් කිරීමට හෝ නොහැකි වන්නේ ඒ අවට ගම්මාන නොමැති නිසාවෙනි.
මේ ගම්මානයේ බොහෝ දෙනෙකු කොළඹ දැක නැත. ඇතැමෙක් ජීවිතයේ එක් වරක් පමණක් කොළඹ ගොස් තිබේ. ඒ සේවක අර්ථ සාධක අරමුදලේ [EPF] මුදල් ලබා ගැනීම සඳහා ය.
ඡන්ද පවතින කාලයට දේශපාලනඥයින් ගමට එන අතර ඉන් පසුව ඔවුන්ගෙන් ද සහනයක් නොලැබෙන බවට නැග්රැක් ජනතාව මැසිවිලි නගති.
ෂර්ලි උපුල් කුමාර
බීබීසී සිංහල