නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට ඈඳන්න හදන්නේ රජයේ පාර්ශ්වයක් විසින්ම ඔහුගේ ජීවිතයට යම්කිසි හානියක් කර එය පාතාලේ අතර ප්‍රශ්නයක් හැටියට අර්ථ දක්වන්න දරන උත්සාහයක් ද කියන සාධාරණ සැකයක් තිබෙනවා.” යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් පවසයි.
” මෙය ඉතාම භයානක කුමන්ත්රණයක කොටසක් විය හැකි බව මේ රටේ ජනතාවට කියා සිටිනවා.” යැයිද ඔහු සඳහන් කළේය .
ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
දැඩි තදබදයක් පැවති කොවිඩ් කාලසීමාවේදී හෝ එකදු රතු ලේබල් සහිත කන්ටේනරයක් වත් පරීක්ෂා කිරීමකින් තොරව රේගුවෙන් නිදහස් කර නැතැයිද ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා මෙසේද පැවසීය .
“මේ රටේ ඉතිහාසයේ දරුණුම, භයානක චෝදනාව ලෙස කිසිදු පරීක්ෂාවකින් තොරව රතු ලේබල් සහිත කන්ටේනර් 323ක් නිදහස් කළා. වරායේ රේගුවේ ඉතාම දැඩි තදබදය තිබූ කාලසීමාව තමයි කොවිඩ් කාලසීමාව. ඒ කාලසීමාවෙවත් එක රතු ලේබල් සහිත කන්ටේනරයක්වත් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමක් රේගුව විසින් සිදු කර නෑ.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රේගුවේ බොරු තදබදයක් මවලා කියලා දැන් කතාව තිබෙන්නේ. එවැනි තදබදයක් ඉන්පසු තිබුණෙත් නෑ. ඊට කලින් තිබුණෙත් නෑ. රේගු නිලධාරි සංගමය ප්‍රකාශ කරන්නේ කිසිසේත්ම නිදහස් නොකළ යුතුව තිබූ රතු ලේබල් සහිත බහාලුම් 323ක් නිදහස් කළ බවයි. ඒ විතරක් නොවේ, 323ට අමතරව ඒ ආසන්න කාලසීමාවේ තවත් මෙවැනිම වූ ආකාරයේ රතු ලේබල් සහිත කන්ටේනර් විශාල ප්‍රමාණයක් නිදහස් වී ඇති බව කියනවා.
අර්චුනා මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියා, මේ කන්ටේනර්වල ප්රභාකරන්ට ලංකාවට ගෙන ඒමට නොහැකි වූ අවි ආයුධ තිබුණා කියලා. ඊට අමතරව මත්ද්‍රව්‍ය, තහනම් ද්‍රව්‍ය සහ මුදල් මේ කන්ටේනර්වල තිබුණා කියලා විවිධ සැක සංකා මතු වුණා. අපි මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා. නමුත් අද වනතුරු එයට පිළිතුරක් නෑ.
නමුත් මේ ඊයේ පෙරේදා අයිස් මත්ද්‍රව්‍ය නිපදවන්න අමුද්‍රව්‍ය ගෙනාවා කියන කන්ටේනරයක් සම්බන්ධයෙන් පොලීසිය ඉතා ඉක්මනින් මැදිහත් වී ප්‍රකාශ කර සිටිනවා, මේ කන්ටේනරය අර කන්ටේනර් 323ට අයත් නොවන බව. ඒ සම්බන්ධයෙන් ඔවුන් ඉතා හොඳින් දැනුම්වත්. නමුත් ඒ තොරතුරු රටට හෙළි නොකර සඟවා සිටින්නේ ඇයිද කියන කාරණය සම්බන්ධයෙනුත් ඉතාම දැඩි ප්‍රශ්නයක් උද්ගත වී තිබෙනවා.