එක්දහස් නවසිය 71 වන විට ආසියානු අප්‍රිකානු සහ දකුණු ඇමරිකානු රටවල බොහෝ දෙනෙකු ද යුරෝපා රටවල සැලකිය යුතු ජන සමුහයක්ද සමාජවාදය බොහෝ ප්‍රශ්නවලට විසඳුම ලෙස කල්පනා කළහ. සමාජවාදී පාලනයක් ලබා ගැනීමට සන්නද්ධ අරගලයක් කළ යුතු යයි විශ්වාස කළ පිරිස් මෙන්ම එය සාමකාමී මාර්ග ඔස්සේ ක්‍රමානුකුලව ඉටු කර ගත යුතුය යන විශ්වාසය තව අය දැරූ හ.
ලංකාවේ වමේ පක්ෂවල නායකයෝ වම ධනපති පන්තියට පාවා දී ඇති බැවින් සමාජවාදය අත්කර ගැනීම සඳහා සන්නද්ධ සටනක් කළ යුතුය යන විජේවීරගේ සටන්කාමී කතන්දර සමාජවාදය ප්‍රියකළ තරුණයනට මී පැණි මෙන් ප්‍රියජනක විය. එමෙන්ම විජේවීරගේ සංවිධානය රහසිගත ව්‍යාපාරයක් වීම ද තරුණයන් එයට ආකර්ෂණය වීමට බලපෑ ප්‍රධාන හේතුවක් විය.
එක දිනයක රාත්‍රියේ ටින්කිරි ටින් බෝම්බවලින් සහ යමක් කමක් තිබු මිනිසුන් සතු තුවක්කු පැහැර ගෙන ඒවායින් පොලිසිවලට සහ හමුදා කඳවුරුවලට පහර දී රාජ්‍ය බලය අල්ලා ගත හැකි යයි ජවිපෙ තරුණයෝ සිතුහ. එම විශ්වාසය ඔවුන්ට ලබා දුන්නේ විජේවීර ඇතුළු ජවිපෙ නායකත්වය විසිනි.
සන්නද්ධ සටනක් කිරීමට හොඳ පුහුණුවක් හොඳ ආයුධ සහ උපාය උපක්‍රම අවශ්‍යය යන කරුණු තරුණයනට කියා දෙන්නට කෙනෙක් සිටියේ නැත.
පොළොන්නරු පොලිසිය අල්ල ගැනීම සඳහා අප්‍රියෙල් 5 වනදා රාත්‍රියේ කළ ප්‍රහාරය, සටන් කිරීම පිළිබඳව කැරලිකරුවන් තුල තිබු දැනුම පිලිබඳ උදාහරණයකි.
මේ විස්තරය මට කිවේ බිඩි තොග පොළොන්නරුවේ කඩවලට බෙදා හැරීම සඳහා ගොස් සිටි මගේ ගමේ අයකු විසිනි. ඔහු මසකට දෙවරක් වාහනයකින් පොළොන්නරු ගොස් බීඩි තොග දින කීපයක් තිස්සේ බෙදා හරින බැවින් රාත්‍රිය ගත කරන්නේ පොලිසියට අල්ලපු වත්තේ තිබෙන පන්සලේය.
පොලිසියට පහර දීම සඳහා පැමිණීමට කැරලිකරුවෝ එදින දහවල් බස් රථයක් පැහර ගත් අතර බස් රියදුරා පොලිසියට පැමිණ ඒ බව පැමිණිලි කර සිටියේය. මේ නිසා පොලිසිය, පොලිස් ස්ථානය වටා අගලක් කපා එයට බැස තුවක්කු පිටතට මානා ගෙන උඩින් ලෑලිවලින් වසා ගෙන සුදානමින් සිටියහ. කැරලිකරුවෝ රාත්‍රී කාලයේ පැහැරගත් බස් රථයෙන් පැමිණි පොලිසිය ඉදිරිපිට බස් රථය නැවත්වුහ. කැරලිකරුවන්ට බස් රථයෙන් බැසීමටවත් ඉඩක් ලැබුනේ නැත. සැඟවී සිටි පොලිස්නිලධාරින් නොනවත්වාම බස් රථයට වෙඩි තැබුහ. මගේ මිතරයා කිවේ බස් රථය පෙනේරයක් වන තරමට වෙඩි තබා තිබුණු බවය. පසුදා උදේ පොලිසිය අවට ප්‍රදේශයේ කළ පරීක්ෂාවකදී තවත් ජවිපෙ කැරලිකරුවන් දෙතුන් දෙනෙකු අසුවිය. නිල්පාට නිල ඇඳුමක් පැළඳ සිටි බැවින් පොලිසියට ඔවුන්ව පහසුවෙන් හඳුනාගත හැකි විය. පසු දිනට පහන් වී තිබීමත් ප්‍රදේශය පිළිබඳව අවබෝධයක් නොතිබීමත් නිසා පැන යා නොහැකිව තැන තැන සැඟවී සිටි අයය. ඔවුන්ට හිමිවුයේ ද බස් රථයේ පැමිණි අයට අයත්වූ ඉරණමම ය.
රාජ්‍ය බලය අත්කරගැනීමට සහ පවත්වාගෙන යාමට මහජන සහය අවශ්‍ය බව වටහා ගැනීමට විජේවීර ඇතුළු ජවිපෙ ඉහල නායකත්වය අසමත්ව සිටීම විශ්මයජනක කරුණකි. එය දැන සිටියේ නම් 1970 මැයි මාසයේ 27 වනදා පවත්වන ලද පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබාගෙන පිහිටවන ලද ආණ්ඩුවකට එරෙහිව ඊට මාස 10 කට පසු 1971 අප්‍රියෙල් මාසයේ 5 වනදා කැරැල්ලක් නොගසනු ඇත.
රාජ්‍ය බලය අත්පත්කර ගැනීමට කැරැල්ලක් ගසන්නේ නම් රාජ්‍ය බලය ලබා ගත් පසු එය පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බව කැරලි නායකත්වය ඉර හඳ සේ දැන සිටිය යුතුය. රාජ්‍ය බලය අල්ල ගැනීමෙන් පසු එය පවත්වාගෙන යාමට නොහැකිව කඩා වැටුනහොත් යලිත් රාජ්‍ය බලය අත් පත් කර ගන්නා පාලනය කැරලිකරුවන් පමණක් නොව ඔවුන්ට සහය දුන් සියලු දෙනාම විනාශ කර දමන බව ස්ථිර නිසාය.
1971 කැරැල්ල ජයග්‍රහණය කලත් ඒ මසක්වත් බලය පවත්වාගෙන යාමට ජවිපෙට හැකි වන්නේ නැත. බලය පවත්වාගෙන යාමට නම් මහජන සහය තරමටම ජාත්‍යන්තර සහය ද අවශ්‍ය වේ. අසල්වැසි ඉන්දියාවට එරෙහි පාලනයකට බලයේ සිටීමට ඉන්දියාව ඉඩ දේවි ද? එපමණක් නොව සෝවියට් කඳවුරට එරෙහි මතයක සිටි විජේවීරට සෝවියට් දේශය සහ එම කඳවුරෙන් සහයක් නොලැබෙනු ඇත. චීනයේ සහය ලැබෙනු ඇතැයි ජවිපෙ විශ්වාස කළ බැවින් කැරැල්ලට පසුවදා ලයනල් බෝපගේ චීන තානාපති කාර්යාලයට ගොස් සහය ඉල්ලා සිටියේ ය. චීන තානාපති බෝපගෙට දුන් පිළිතුර වුයේ වහාම තානාපති කාර්යාලයෙන් පිටවී නොගියහොත් පොලිසියට දැනුම් දෙන බවය.
කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව ජාත්‍යන්තර සහය ඉල්ලා සිටි විට ඉන්දියාව කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂාව සඳහා ගුර්කා භටයන් එවූ අතර චීනය වෙඩි උන්ඩ සහ තුවක්කු නැවක්ම දුන්නේය. සෝවියට් දේශය මිග් ගුවන් යානා දුන්නේය.
71 කැරැල්ලේ පරාජයෙන් රෝහණ විජේවීර මහතා පාඩම් ඉගෙනගත් බවක් පෙනෙන්නේ නැත. 1977 නැවත දේශපාලනය ඇරඹු විජේවීර ආන්ඩු විරෝධී බලවේග මිතුරු බලවේග බවට පත් කර ගැනීම වෙනුවට සතුරු බලවේග බවට පත් කර ගත්තේය. වමේ මිනිසුන් පරම සතුරන් සේ සැලකුවේය. පළාත් සභාවලට එරෙහි වීම නිසා දෙමල ජනයාව ද සතුරන් බවට පත් කර ගත්තේය.
මේ නිසා 88 කැරැල්ල ගසා අනෙකුත් සියලු දේශපාලන පක්ෂ විජේවීර විසින් තහනම් කිරීම නිසා ජේ ආර්-ප්‍රේමදාස ආණ්ඩුව ජවිපෙ තලා දමන විට ජවිපෙ ආරක්ෂා කරන්නට කවුරුවත් ඉදිරිපත්වුයේ නැත.
බර්ටි රණවීරගේ