සාගතයක් ගැන අනතුරු ඇඟවීමක්

සිවිල් යුද්ධයකින් පීඩාවට පත්ව ඇති සුඩානයේ

අවම වශයෙන් 756,000ක ජනතාවක් ඉදිරි මාස කිහිපය තුළ සාගතයකට මුහුණදෙනු ඇති බව එහි ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සහන සංවිධාන පවසයි.

පසුගිය දෙසැම්බරයේ නිකුත් කළ වාර්තාවලට අනුව පවා සූඩානයේ මිලියන 17.7ක් ජනතාවක්, එනම් ජනගහනයෙන් 37%ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළුෑණි.

එහෙත් මේ වන විට මිලියන 25.6ක් එනම් ජනගහනයෙන් 54%ක් දරුණු ආහාර අර්බුදයකට මුහුණදෙමින් සිටී. 

ඒ අතුරින් මිලියන 9ක ජනතාව හදිසි ආධාර අවශ්‍ය නැත්නම් දරුණු තත්ත්වයක පසුවන බව වාර්තා වේ. 

සූඩාන හමුදා රජය නම් ප්‍රකාශ කරන්නේ රටතුළ සාගත තත්ත්වයක් නොමැති බවය.

සුඩායේ සාගත තත්ත්වය පිළිබඳ නිසි ඇගයීමක් සිදුකිරීම ද ගැටලුකාරී වී තිබේ.

ආරක්ෂක අවදානම, මාර්ග බාධක හා විදුලි සංදේශ සේවා ඇණහිටීම් ආදිය නිසා ඒ ආකාරයේ තොරතුරු දත්ත එක්රැස් කිරීම අභියෝගයක් බව රෝමය කේන්ද්‍ර කරගත් IPC හෙවත් ඒකාබද්ධ ආහාර ආරක්ෂණ අදියර වර්ගීකරණය ප්‍රකාශ කරයි. 

කෙසේ නමුත් සුඩානයේ තත්ත්වය පිළිබඳ ඔවුන් ඉදිරි සති කිහිපය තුළ නව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. 

සුඩානයේ වත්මන් සිවිල් යුද්ධය ආරම්භ වූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිටියි.

පසුව එය රට පුරා පැතිරෙන ආකාරයක් දක්නට ලැබුණි.

විශේෂයෙන් බටහිර දිග ඩාෆූර් කලාපයේ ගැටුම් පැතිරුණේ වර්ගවාදය ද යළි ඉස්මතු කරමිනි. 

එහිදී මිලියන සංඛ්‍යාත පිරිසකට උන්හිටිතැන් නැති වී අවතැන්වීමට සිදුවිය. 

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ආයතනයේ ඇස්තමේන්තුවලට අනුව සුඩානයේ පැවති සහ වර්තමාන යුද ගැටුම් හේතුවෙන් රටතුළ අවතැන් වී ඇති සංඛ්‍යාව මිලියන 10කට අධිකය. 

එය වර්තමාන ලෝකයේ විශාලතම පුද්ගල අවතැන්වීම ලෙස සැලකේ. 

සුඩානයේ වර්තමාන සිවිල් යුද්ධය 2023 වසරේ අප්‍රේල් 15 වනදා ආරම්භ වූයේ සුඩාන හමුදා රජයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ මතභේදයකිනි. 

සුඩාන සන්නද්ධ බළකාය නැතින‍ම් SAF සහ RAF නැතින‍ම් කඩිනම් සහායක බළකාය (Rapid Support Foeces) සුඩානයේ බලය පැහැරගන්න එක්වුණත් පසුව විරසක විය.

ඔවුන් අතර ගැටුම් මුලින් කාටුම් අගනුවරට සීමාවුවත් පසුව නිරන්තර ගැටුම්වලට මැදිවන ඩාෆූර් කලාපයටත් පැතිරුණි. 

සුඩානයේ නියත වශයෙන්ම සාගත තත්ත්වයක් ඇති විය හැකි බවට ජගත් සංවිධානය අනතුරු අඟවන්නේ මාසයක වැඩි කාලයක සිටය. 

ජගත් සංවිධානයේ නියෝජිතායතන ප්‍රධානීන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මිලියන 3.6ක් සුඩාන ළමුන් දරුණු මන්දපෝෂණයෙන් පෙළෙන බවය. 

තත්ත්වය මෙසේ වුවත් සුඩානයේ තවමත් සාගත තත්ත්වයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. 

ඒ සඳහා පාර්ශ්ව කිහිපයක එකඟත්වය පළවිය යුතු බවයි වාර්තා වේ. 

සාගත තත්ත්වයක් නිර්මාණය කරන ක්‍රමවේදය ජගත් සංවිධානය විසින් ස්ථාපිත කිරීමෙන් පස්සේ ඒ ආකාරයට සාගත ප්‍රකාශයට පත්කර තිබෙන්නේ දෙවතාවක් පමණි.

2011 වසරේ සෝමාලියාවෙන් 2017 වසරේ දකුණු සූඩානයෙන් එවැනි සාගත තත්ත්වයක් ප්‍රකාශ කෙරුණි.

සුඩානයේ වර්තමාන සිවිල් යුද්ධයේ පාර්ශ්වයක් වන RSF සන්නද්ධ සාමාජිකයන් ඩාෆූර් කලාපයේ උතුරු කොටස මේ වන විට වටලා සිටියි. 

එහි අල් ෆෂීර් නැමැති ජනාකීර්ණ නගරය අත්පත් කරගැනීම ඔවුන්ගේ ඉලක්කය වී ඇත.

එම නිසා එහි සිටින මිලියන 1.8ක් පමණ ජනතාව දැඩි අවදානමකට ලක්ව සිටින බව වාර්තා වේ.

එම කලාපයෙන් සන්නද්ධ සාමාජිකයන් ඉවත් කරගන්නා ලෙස බලකරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනාවක් ද ඊයේ (13) සම්මත කරගනු ලැබීය. 

ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 14ක් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරද්දී රුසියාව පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.