කෙහෙළිය වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීමට

අදාළව රිමාන්ඩ් භාරයේ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇප ඉල්ලීම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අදත් ප්‍රතික්ෂේප කෙරුණි.

ඒ අනුව ඔහු ඇතුළු සැකකරුවන් 08 දෙනා ජුනි 28 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මේ අතර ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් වෙනුවෙන් තමා පෙනී නොසිටින බවට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම්දුන්නේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීම පිළිබඳ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවනු ලැබීය.

අවසන් නඩු වාරයෙන් පසු මේ දක්වා සිදුකළ විමර්ශන පිළිබඳ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය එහිදී කරුණු දැක්වූයේ මෙලෙසිනි.

"ස්වාමිනි, දැනට සිදුකළ විමර්ශනවලදි හෙළිවෙලා තියෙනවා, මෙම ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට සති කිහිපයකට පෙර එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වූ මෙම නඩුවේ 12 වන සැකකරු වන විජිත් ගුණසේකර පෞද්ගලිකව මෙම කර්මාන්ත ශාලාවේ ස්ථානීය පරීක්ෂණයක් කර ඇති බව. එමෙන්ම අපි ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ඔහු සඳහන් කළේ ඔහු රාජකාරි කටයුතුවලදි නිල මුද්‍රා 2ක් පමණක් භාවිත කළ බව. එහෙත් ඔහු මුද්‍රා 12ක් භාවිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මේ අතර පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඇප අයදුමක් ඉදිරිපත් කළා. ස්වාමිනි නාසා එකෙත් ලංකාවේ විද්‍යාඥයෝ ඉන්නවා. ඔවුන් යම් සොයාගැනීමක් කළොත් විශිෂ්ටයි. නමුත් විද්‍යාඥයෙක් වන මගේ සේවාදායකයා ඖෂධයක් නිෂ්පාදනය කළ පමණින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැහැදිලිව දැන හිටියා මොහු මේ ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කරන බව. දැනටම මගේ සේවාදායකයා මාස 07ක් රිමාන්ඩ් භාරයේ ඉන්නේ. එබැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා මොහුට ඇප ලබාදෙන්නැයි ඉල්ලා සිටිනවා "

ඊට මහේස්ත්‍රාත්වරිය ප්‍රතිචාර දැක්වුයේ මෙලෙසිනි.

"සැකකරුවන් මාස 07ක් රිමාන්ඩ් භාරයේ සිටියත් ඇප ලබාදීමටනම් සුවිශේෂි කරුණු ඉදිරිපත් විය යුතුයි. මාල කඩපු සාමාන්‍ය නඩුවක් නෙමෙයි මේක. එබැවින් අධිකරණය ඉතා විනිවිඳභාවයෙන් දෙපාර්ශ්වයේම කරුණුවලට අවධානය නිකුත් කරලයි තීන්දු තීරණ ගන්නේ."

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 08 දෙනා ජුනි මස 28 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.