පත්තර සහ TV කන්තෝරු තුල ලිංගික හිංසන ගැන ආණ්ඩුවේ අවධානය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදිනියන්ට විඳින්නට සිදුවී ඇති ලිංගික හිංසන පිළිබඳ විවෘත හෙළි කිරීම්

සමාජ මාධ්‍ය අවුළුවා ලීමත් සමගම ඒ පිළිබදව විමර්ශන පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

එම හෙළිදරව්වලදී වැඩියෙන්ම සඳහන් වී ඇත්තේ රජයේ මාධ්‍ය ආයතනවල නම් ය.

රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විසින් කළ ප්‍රශ්න කිරීම හමුවේ රජයේ මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සදහන් කළේ ඒ පිළිබදව තමන්ට තවමත් නිල පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

“මට එවැනි කිසිදු නිල පැමිණිල්ලක් ලැබිල නැහැ... නමුත් මට එවැනි පැමිණිල්ලක් ලැබුනා නම් මම වහාම ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට මැදිහත් වෙනවා”

කෙසේ නමුත් ඒ පිළිබදව අදාල පුද්ගලයන් සම්බන්ධ කරගෙන සොයා බැලීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා ඇත්තේ “එය ඇත්තක් නම්” යනුවෙන් සැකයක් ද මතු කරමිනි.

“එය ඇත්තක් නම්, අනිවාර්යයෙන්ම ඔව්, අපි ගන්න පුළුවන් උපරිම පියවර ගන්නවා”, යැයි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටි අමාත්‍යවරයා, මේ පිළිබඳ විමර්ශනයක් සිදු කර, මාධ්‍යවේදිනියන්ට ආරක්ෂිත පරිසරයක වැඩ කිරීමට හැකි වටපිටාවක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව ද සඳහන් කළේය.

විමර්ශන සිදු කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදය අමාත්‍යවරයා හෝ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ තවමත් හෙළි කොට නැත.

තමන් ශ්‍රී ලංකාවේ දිනපතා පුවත්පතක සේවය කරමින් සිටියදී, පිරිමි වෘත්තීය සගයකු විසින් තමාව දූෂණය කරන බවට තර්ජනය කළ බවට මාධ්‍යවේදිනී සාරා කැල්ලපත විසින් ට්විටර් පණිවුඩයක් මගින් හෙළි කර තිබුනි.

Screenshot 2021 06 25 at 09.21.49

“අපි සාමාන්‍ය කතාබහක් කරමින් ඉන්දදී එක පාරක්, මගේ පිරිමි වෘත්තීය සගයෙක් මාව දූෂණය කරනවා කියලා තර්ජනය කළා.”

2010-17 කාලය තුළ (නම සඳහන් නොකළ) පුවත් පතක සේවය කරමින් සිටියදී මුහුණ දුන් හිංසනය පිළිබඳව ඇය කළ හෙලිදරව්වත් සමඟ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන තුළ තමන්ට විඳීමට සිදු වූ ලිංගික අතවර පිළිබඳ චෝදනා සමාජ මාධ්‍ය ඔස්සේ ගලා එන්නට විය.

#MeToo ව්‍යාපාරය

හිටපු ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදක හාවි වීන්ස්ටයින් විසින් සිදු කරන ලද ලිංගික අපරාධ සම්බන්ධයෙන් හෙලි වීමත් සමඟ 2017 දී එක්සත් ජනපදයේ ආරම්භ වූ #MeToo ව්‍යාපාරය හා සමානව, ඇය තැබූ ට්වීට් පණිවුඩය, තවත් බොහෝ කාන්තාවන්ගේ අත්දැකීම් ප්‍රසිද්ධියට පත් කිරීමට පොළඹවා තිබේ.

ශ්‍රී ලංකාවේ සීමාවාසික ජනමාධ්‍ය පුහුණුව ලැබූ එක්සත් ජනපද මාධ්‍යවේදිනියක වන ජෝර්දාන් නාරින් එම ට්විටර් පණිවුඩය පළවීමත් සමඟම සටහන් කර ඇත්තේ, තමන් ශ්‍රී ලංකා රජයේ පුවත්පතක් වන ‘ඩේලි නිව්ස්’ හි පුහුණුව ලබමින් සිටියදී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සගයකු විසින් දිගින් දිගටම ඇය ලිංගික හිරිහැර වලට ලක් කළ බවයි.

ඇය ඔහුව හැදින්වූයේ “H****L” ලෙසයි.

“ඔහුගේ වචන වලින්ම කියනවා නම්, ඔහු තමා ශ්‍රී ලංකාව මෙතෙක් දැක ඇති හොඳම මාධ්‍යවේදියා. මට ඔහුගෙන් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනකං ඉවසීමක් නැතුව හිටියේ. ඒත් වුනේ, මාස දෙකක් පමණ මට අනවශ්‍ය ලෙස වාසි සැලසූ ඔහු, පස්සෙ මට කෑගහන්න පටන් ගත්ත, මාව නිතරම අපහසුතාවයට පත් කරන්න පටන් ගත්තා, නිතරම මාව අතපත ගාන්න ගත්තා”

අවසානයේදී ඇය විසින් පුවත්පතේ ප්‍රධාන කතුවරයාට මේ පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව, ඔහුට ඉල්ලා අස්වන ලෙස දන්වා තිබේ.

ඉන්පසුව 'ඩේලි මිරර්' පුවත්පතට සම්බන්ධ වී තිබෙන ඔහු දැන් නීතිඥ වෘත්තියේ නියැලී සිටින බව සමාජ මාධ්‍ය ඔස්සේ පලවන තොරතුරු වලින් හෙළිවෙයි.

සිය අත්දැකීම් බෙදා ගනිමින් මාධ්‍යවේදිනී සහ්ලා ඉල්හැම් සටහන් කර ඇත්තේ, දැන් මුද්‍රණය නොකෙරෙන “කීර්තිමත් පුවත්පතක ප්‍රසිද්ධ කතුවරයකු” විසින් තමාට ලිංගික අතවර කළ බවත්, ඒ සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටින ලෙස තම පවුලේ අයට බලපෑම් කළ බවත් ය.

 

Screenshot 2021 06 25 at 09.26.53


ITN - MTV :

තමන්ට සිදුවූ හිංසන විස්තර කරන තවත් මාධ්‍යවේදිනියක වන කාවින්ද්‍යා තෙන්නකෝන් හෙලි කර ඇත්තේ, 15 හැවිරිදි ශිෂ්‍යාවක් ලෙස ඇය ස්වාධීන රූපවාහිනි සේවයේ වැඩසටහනක් සඳහා සහභාගි වීමේදී, වේශනිරූපණ ශිල්පියකු විසින් ඇයව විටින් විට අනවශ්‍ය ලෙස ස්පර්ෂ කරනු ලැබූ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩසටහන් අධ්‍යක්ෂක වෙත පැමිණිලි කිරීමෙන් පසුව, එම ශිල්පියා ඇය වෙත යොමු කිරීමෙන් වැළකී ඇති මුත්, ඔහු එම ආයතනයේ දිගටම සේවය කර තිබේ.

ඉන්පසුව ඇය MTV ආයතනයේ වැඩසටහනකට සම්බන්ධව සිටියදී එහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු විසින් ඇය බලෙන් සිප ගැනීමට උත්සාහ කළ ආකාරය සහ එම සිදුවීමෙන් පසුවත් මාස ගණනාවක්ම ඔහු සමඟ එකට වැඩ කිරීමට ඇයට සිදුවූ අයුරු ඇය විස්තර කර තිබේ.

මෙම ලිංගික හිංසන සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් අතර, පුවත්පත් සහ රූපවාහිනී ආයතන වල මධ්‍යම මට්ටමේ මාධ්‍යවේදීන් මෙන්ම, පසුව දේශපාලන වෘත්තීන් සඳහා යොමු වූ ජ්‍යෙෂ්ඨයන් ද වන බව වාර්තා වේ.

මෙම හෙලිදරව් කිරීම් වලින් පසුව, වින්දිතයන්ට සිය සහයෝගය පළ කරමින් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත්තේ, “මෙම චෝදනා කඩිනමින් විමර්ශනය කරන ලෙසත්, නැවත ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අපි මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිමු. සමූහයක් වශයෙන්, අප වැඩ කරන ස්ථාන තුළ අපගේ සියලු සගයන්ට ආරක්ෂිත සහ සමානාත්මතාවය පිළිබඳ හැඟීමක් ඇති කිරීම සහතික කිරීම අපගේ වගකීමකි,” යනුවෙනි.

රට තුල වෙනත් මාධ්‍ය සංවිධාන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ බවක් දැනගන්නට නැත.

උපුටා ගැන්ම : The Leader