කෘත්‍රිම බුද්ධිය හමුවේ ශ්‍රී ලංකාව කොයිබටද? -අරුන්දතී භට්ටාචාර්ය - සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි

කෘත්‍රිම බුද්ධිය හමුවේ ශ්‍රී ලංකාව කොයිබටද? -අරුන්දතී භට්ටාචාර්ය - සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි
AI පිළිබඳ දැනුම පුළුල් වීම සහ ආයතනික මට්ටමින් ඒ පිළිබඳ අවධානය යොමු වීම හේතුවෙන් AI භාවිතයට ගැනීමේ ප්‍රවණතාව වේගවත් වෙමින් තිබේ. මෙම ප්‍රගය තහවුරු කරන පැහැදිලි සාක්ෂියක් අපට 2023 වසරේදී දැකගත හැකි විය.
 
කෘත්‍රිම බුද්ධිය (AI) ශ්‍රී ලංකාවේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් තාක්ෂණිකව යොදා ගැනීම: නවෝත්පාදනය, අන්තර්කරණය සහ බලපෑම පිළිබඳත් ඒ ආශ්‍රිත කරුණු සහ එහි ප්‍රතිඵලදායක පැතිකඩ පිළිබඳ මේ ලිපිය සැකසිණ.
කෘත්‍රිම බුද්ධිය හෙවත් AI යනු තවදුරටත් ලොව වෙනත් රටවල පර්යේෂණ මධ්‍යස්ථානවලට සීමා වූවක් නොවේ. එය දැනටමත් අප හමුවට පැමිණ ඇත. මෙය ශ්‍රී ලංකාවට උදා වී ඇති මාහැඟි අවස්ථාවකි. ලොව AI තාක්ෂණයේ ගමන් මඟ අමෙරිකාවේ සිලිකන් නිම්නය (Sillicon Valley) මඟින් තීරණය ලද්දේ වුවද, ශ්‍රී ලංකාව තුළ එය අපටම ආවේණික ලෙස හැඩගස්වා ගැනීමට අපට හැකියාව පවතී. ක්‍රමානුකූලව වර්ධනය වන ඩිජිටල් තාක්ෂණික නැඹුරුව, දක්ෂ වෘත්තිකයන්ගෙන් සමන්විත ශ්‍රම බළකායක් සිටීම සහ නවෝත්පාදනය හා ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කිරීම ඇතුළු සාධක ඔස්සේ අපට එය කළ හැකි වනු ඇත. එමඟින් අප රටට ලෝකය සමඟ සමගාමී ගමනක් යෑමට හැකියාව තිබේ. එසේම එය එසේ වීම තුළ ලෝකය සහ අප රට ඒකත්වයකට පත්වීමට ද හැකියාව ලැබේ.
 
දියුණුවේ බලවේගයක්
 
AI තාක්ෂණය සම්බන්ධයෙන් පවතින සංවාදය නිරන්තරයෙන් වෙනස් වන්නකි. එහි පරිවර්තනීය හැකියාවන් පිළිබඳ අවිනිශ්චිත හැඟීම් මෙන්ම සුභදායී හැඟීම්ද බොහෝ දෙනෙකු තුළ පවතී. AI පිළිබඳ දැනුම පුළුල් වීම සහ ආයතනික මට්ටමින් ඒ පිළිබඳ අවධානය යොමු වීම හේතුවෙන් AI භාවිතයට ගැනීමේ ප්‍රවණතාව වේගවත් වෙමින් තිබේ. මෙම ප්‍රගතිය තහවුරු කරන පැහැදිලි සාක්ෂියක් අපට 2023 වසරේදී දැකගත හැකි විය. එම වර්ෂයේදී Oxford Insights Government AI Readiness Index හි ස්ථාන 10ක් ඉදිරියට පැමිණෙමින්, රටවල් 193 ක් අතරින් 95 වන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම ජයග්‍රහණය, ජාතික AI ක්‍රමෝපායක් නිර්මාණය කිරීම සඳහා රජය දක්වන උනන්දුව සහ ඩිජිටල් නවෝත්පාදනයන් වැලඳ ගැනීමට ඇති සූදානම මැනැවින් පිළිබිඹු කරයි.
 
ඒ අනුව සැමට විවෘත, රටේ තත්ත්වයන්ට ගැළපෙන සහ දීර්ඝකාලීන බලපෑමක් ඇති කිරීමට සමත් AI විසඳුම් නිර්මාණය කිරීම ඔස්සේ තමන්ටම ආ‍ෙව්ණික AI අනාගතයක් බිහි කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇත. දත්ත යටිතල පහසුකම් සහ කුසලතා සඳහා නිසි ආයෝජන සිදුවන්නේ නම්, ඵලදායිතාව වේගවත් කිරීමට, ශ්‍රම බළකාය සවිබල ගැන්වීමට සහ වර්ධනය හා ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමට දායක වීමට AI තාක්ෂණයට හැකියාව තිබේ. මේ පිළිබඳ රජයේ උනන්දුවද ඉහළ මට්ටමකට පත්වීම සුවිශේෂ කරුණක් සහ අගය කළ යුතු කරුණක් ලෙස සඳහන් කළ හැකිය. ඒ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිමය රාමුවක් ඇති කර ගැනීමද එය දීර්ඝ කාලීන දෙයක් වීමද අනිවාර්යයෙන් සිදු විය යුතු දෙයකි.
 
මෙය හුදෙක් ප්‍රතිපත්තිමය හෝ යටිතල ව්‍යුහමය වෙනසක් පමණක් නොවේ. මෙහි තීරක සාධකය වන්නේ ව්‍යාපාරවලට තම පාරිභෝගික සේවාව සහ කාර්යය මණ්ඩලය සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය සෘජුවම වැඩිදියුණු කිරීමට AI තාක්ෂණයට හැකි වන්නේ කෙසේද යන්නයි. වර්තමාන පාරිභෝගිකයෝ තමන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන කඩිනම් සේවාවක් සමඟින් සුහුරු විසඳුම් අපේක්ෂා කරති. මේ සම්බන්ධයෙන් කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකිරීමට AI තාක්ෂණයට හැකියාව ඇත. කිසියම් ආයතනයක දෛනික රාජකාරි කටයුතු ස්වයංක්‍රිය කිරීමට, ඉගෙනුම් වේගවත් කිරීමට සහ වේගවත් හා නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු කාර්යය මණ්ඩලය වෙත ලබා දීමට එයට හැකියාව තිබේ.
 
ඇත්ත වශයෙන් AI යනු රැකියා අහිමි කරනු වෙනුවට රාජකාරි පහසු කරන තාක්ෂණයකි. එය නිර්මාණශීලීත්වය, ගැටලු විසඳීම සහ සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා මිනිසුන්ට වැඩි කාලයක් ලබා‍ දෙන අතරම එම ක්‍රියාවලීන් සිදුවන ආකාරය පියවරෙන් පියවර පරීක්ෂා කර නිරන්තරයෙන් වැඩිදියුණු කිරීම් සිදු කිරීමට අවස්ථාව උදා කර දෙයි. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අදහස් දක්වන ඇතමුන් සඳහන් කරන්නේ මේ නිසා රැකියා මංපෙත් ඇහිරී යෑම වැනි දේ සිදුවිය හැකි බවය. එහෙත් එය කිසිසේත් නිවැරදි දෙයක් නොවේ. එමඟින් රැකියාවන් වඩාත් පහසු දෙයක් බවට පත්වීම සිදු වේ. එහෙත් තවමත් එය සමහරු තේරුම් නොගෙන සිටිති.
 
යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය
 
AI තාක්ෂණය මඟින් නිසි ප්‍රයෝජන ලැබීමට නම් මුලින්ම අප දත්ත යටිතල ව්‍යුහය ඇතුළු මූලික පදනම් සඳහා ආයෝජනය කළ යුතු වේ. විශ්වසනීය, සුරක්ෂිත සහ විධිමත් දත්ත නොමැතිව කිසිදු AI ආකෘතියකට නිසි පරිදි ක්‍රියා කළ නොහැක. ඒ සඳහා අප නොපමාව පද්ධති අන්තර් ක්‍රියාකාරී කිරීම, ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සහතික කිරීම සහ වගකීම්සහගත ඩිජිටල් පරිවර්තනයකට අවශ්‍ය මූලික පහසුකම් ඇති කිරීම ඇතුළු නවීකරණයන් සිදු කළ යුතුය.
 
සැබැවින්ම, නිසි දක්ෂතා සහිත වෘත්තිකයන් සිටීමද මෙහිලා අතිශයින් වැදගත්ය. ඒ සඳහා මුලින්ම අප AI දැනුම යනු වරප්‍රසාදයක්ය යන ආකල්පයෙන් ඉවත් විය යුතුය. AI දැනුම අලුතින් වෘත්තීය ජීවිතය අරඹන පුද්ගලයන්ට මෙන්ම, නව ප්‍රවණතාවන්ට ගැළපෙන පරිදි අනුගත වීමට උනන්දුවක් දක්වන පළපුරුදු වෘත්තිකයන්ටද අතිශයින් වැදගත් වේ. මෙය හුදෙක් රජයේ වගකීමක් පමණක් නොවන අතර, කර්මාන්ත ක්ෂේත්‍රයද මේ සඳහා කේන්ද්‍රීය භූමිකාවක් එයින් ඉටු කෙරේ. සේවකයන් පුහුණු කිරීම සඳහා අද දවසේ ආයෝජනය කිරීම තුළින් ව්‍යාපාරවලට අනාගත අභියෝගවලට ගැළපෙන කාර්යක්ෂම හා ඵලදායී ශ්‍රම බළකායක් නිර්මාණය කරගත හැකි වනු ඇත.
 
මෙහිදී අප මතක තබාගත යුතු වැදගත් කරුණක් නම්, ශ්‍රී ලංකාවේ AI ගමන්මඟ ලොව වෙනත් රටවල AI ගමන් මඟට සර්වප්‍රකාරයෙන්ම සමාන වීම අවශ්‍ය නොවන බවයි. ශ්‍රී ලංකාවේ බහුතරයක් ව්‍යවහාර කරන භාෂාවන් වන සිංහල හා දෙමළ භාෂාවන් මඟින් සේවාව ලබාගත හැකි, දේශීය තත්ත්වයන්ට හා අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන තාක්ෂණයන් නිර්මාණය කිරීම මෙහිලා අතිශයින් වැදගත්ය. එබැවින් අප තාක්ෂණය විදේශ රටවලින් ආනයනය කිරීම වෙනුවට, දේශීය තත්ත්වයන්ට ගැළපෙන, අන්තර්කරණය වූ, දේශීය යථාර්ථයන් පිළිබිඹු කරන දේශීය විසඳුම් නිර්මාණය කිරීමට පියවර ගත යුතු වේ. දේශීය බස් වහර ද මේ සඳහා උපයෝගී කර ගැනීම මඟින් වඩාත් ජනතාව අතරට මෙම තාක්ෂණය යොදා ගැනීමට හැකියාව ලැබේ.
 
අනාගතය සුරක්ෂිතයි
 
ශ්‍රී ලංකාවේ AI තාක්ෂණ භාවිතය පුළුල් වෙමින් පවතින මේ මොහොතේ, ශක්තිමත් හා ආචාර ධාර්මික රාමු හඳුන්වා දීම අතිශයින් වැදගත්ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන උනන්දුව හා කැපවීම ජාතික AI ක්‍රමෝපාය මඟින් මැනැවින් පිළිබිඹු වේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණුවලට සමගාමී වන වගකීම්සහගත සංවර්ධනයක වැදගත්කම මෙමඟින් අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාව කලාපීය AI නවෝත්පාදන කේන්ද්‍රයක් බවට පත්කරමින්, සමාජයේ සියලු කාණ්ඩවලට ප්‍රතිලාභ හිමි වන තාක්ෂණික ප්‍රගතියක් අත්පත් කරගැනීම මෙම ක්‍රමෝපායෙහි මූලික ඉලක්කය වී තිබේ.
 
AI පද්ධති සම්බන්ධයෙන් විශ්වාසය ගොඩනැංවීමට නම් ප්‍රතිපත්ති සම්පාදකයන්, තාක්ෂණ විශේෂඥයන් සහ සිවිල් සමාජය එක්ව කටයුතු කිරීම අතිශයින් වැදගත්ය. විනිවිදභාවයෙන් යුත් වගකීම්සහගත AI භාවිතයන් සඳහා ආයෝජනය කිරීම තුළින්, තාක්ෂණයේ හැකියාවන් ඔස්සේ ආයතන ශක්තිමත් කිරීමට, අර්ථවත් රැකියා උත්පාදනය කිරීමට සහ තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.
 
මේ ආකාරයට AI තාක්ෂණය ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට සාධනීය දායකත්වය ලබාදෙන බලවේගයක් බවට පත්කර ගැනීමට නම් ඒ සඳහා නොපමාව නිසි ක්‍රියාමාර්ග ගැනීම, ආයෝජන සිදු කිරීම සහ හවුල්කාරීත්වයන් ගොඩනංවා ගැනීම අත්‍යවශ්‍ය වේ.
 
එනිසා මෙම නව තාක්ෂණ ක්‍රමවේදය මානවයාගේ උන්නතිය වෙනුවෙන් යොදා ගැනීමට හැකියාව තිබේ. අද අප ගමන් කරමින් සිටින්නේ සාම්ප්‍රදායික රාමුව ඉක්මවා ගිය නව ලෝක රටාවක් වෙතය. ඒ තත්ත්වය තුළ අපටද රටක් ලෙස පසෙකට වී සිටීමට හැකියාවක් නැත. AI තාක්ෂණය හෙවත් කෘත්‍රිම බුද්ධිය අප රටේ ප්‍රගමනය සහ ප්‍රගතිය කරා රැගෙන යෑමට මහඟු මඟක් ලෙස යොදා ගැනීමට පුළුවන. එනිසා දැන් අපද ලෝකය සමඟ කරට කර මේ ගමන සඳහා එක් විය යුතුය. එමෙන්ම රාජ්‍ය ආයතන ද නූතන ලෝකයට වඩාත් ගැළපෙන පරිදි නිර්මාණය කර ගැනීමට මෙමඟින් හැකියාව ලැබේ

Search