නිසි කලට පොහොර නැහැ කුඹුරු 'කහ' වෙයි

නිසි කලට  පොහොර නැහැ කුඹුරු 'කහ' වෙයි

දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව කහ ගැන්වීමේ රෝගයක් හේතුවෙන් අවදානමකට ලක්ව තිබෙනවා. ගොවීන් පවසන්නේ, නිසි වේලාවට පොහොර ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් තම කුඹුරු කහ ගැන්වීමේ රෝගයට ගොදුරු වී ඇති බවයි. 

 
මේ වනවිට දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල යල කන්නයේ වී වගාව ආරම්භ වී තිබෙනවා. 
 
ගොවීන්ට මෙවර පොහොර සහනාධාරය වෙනුවට වගා ආධාරයක් ලබා දෙන බවට රජය තීරණය කර තිබුණේ යල කන්නය කේන්ද්‍ර කර ගනිමින්. 
 
අම්පාර, පොළොන්නරුව සහ අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක රැසක යල කන්නය සඳහා මේ වනවිට වගා බිම් සකස් කර වී වපුරා මාසයකට අධික කාලයක් ගතව තිබෙනවා. 
 
ගොවීන් පවසන්නේ, මාසයක් පමණ වන ගොයම කහ පැහැ ගැන්වීමේ රෝගයකට ගොදුරු වී ඇති බවයි. ගොයම් ගස අග සිට ගොයම් පත්‍ර දක්වා කහ පැහැ ගැන්වී ඇති අතර, පොහොර ඌණතාවක් හේතුවෙන් තම අස්වනු විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව ගොවීන් පවසනවා. 
 
ගොවීන් පවසන්නේ, නිසි කලට ගොයමට පොහොර යෙදීම සඳහා වගකිවයුතු අංශ නිසි පරිදි ක්‍රියා නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි. 
 
පරාක්‍රම සමුද්‍රය , කවුඩුල්ල , මින්නේරිය , ගිරිතලෙන් ලැබෙන ජලයෙන් අස්වද්දන ප්‍රදේශ රැසක කුඹුරු කහ පැහැ ගැන්වී තිබුණේ මෙලෙසින්. 
 
මේ අතර අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උදයගිරිය සහ වළගම්පුර යන ප්‍රදේශවල කුඹූරු ද කහ පැහැ ගැන්වීමේ රෝගයට ගොදුරු වී ඇති බව ගොවීන් පෙන්වා දෙනවා. 
 
ගොවීන් ඉල්ලා සිටින්නේ මේ සඳහා රජය වහා මැදිහත් විය යුතු බවයි. මේ අතර, යල කන්නයේ අස්වනු සඳහා ගොවීන්ට වාසිදායක මිලක් ලබා දීමට පියවර ගන්නා බව, කෘෂිකර්ම ආමත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා

Search