ෂාරුක් ඛාන් ශ්‍රී ලංකා ගමන අවලංගු කරයි

ෂාරුක් ඛාන් ශ්‍රී ලංකා ගමන අවලංගු කරයි

තව නොබෝ දිනකින් කොළඹදී විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට සිටි සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් නොවැළැක්විය හැකි හේතුවක් මත ඊට සහභාගී නොවන බව නිවේදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ City of Dreams Sri Lanka හි ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ, ශාරුක් ඛාන් සහභාගී නොවූවද නියමිත පරිදි මෙම සුවිශේෂී විවෘත කිරීමේ උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “ශාරුක් ඛාන් සියැසින් දැකගැනීමට බොහෝ දෙනා ඉතා ආශාවෙන් සිටි බව අපි හොඳින් ම දන්නවා. ඒ අවස්ථාව උදා කර ගැනීමට නොහැකි වීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. මෙතෙක් අප වෙත අඛණ්ඩ සහයෝගය ලබා දෙමින් අපගේ සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කළ ශාරුක් ඛාන් හට අපගේ කෘතඥතාව පල කරන අතරම නුදුරු අනාගතයේදී ඔහු City of Dreams Sri Lanka වෙත කැඳවාගෙන ඒමට බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

ශාරුක් ඛාන් සහභාගී නොවීම පිළිබඳව ඔහුගේ නිල ඒජන්සි ආයතනය වන WizCraft විසින් පහත නිවේදනය නිකුත් කර ඇත.

“මීට පෙර සැලසුම් කර තිබුණද නොවැළැක්විය හැකි හේතුවක් මත ශාරුක් ඛාන් City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට සහභාගී නොවන බව කණගාටුවෙන් යුතුව අප ඔබට දැනුම් දී සිටිමු.”

Search