සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ පුත්, 25 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන් තෙන්ඩුල්කාර් විවාහ ගිවිස ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ සහකාරිය වන්නේ මුම්බායි නුවර ප්‍රකට ව්‍යාපාරිකයකු වන රවී ගායි මහතාගේ මිනිබිරිය වන සානියා චන්දොක් ය. ඉන්දියා ටුඩේ වාර්තාවකට අනුව, මෙම විවාහ ගිවිස ගැනීමේ උත්සවය දෙපාර්ශවයේම සමීපතම පවුලේ සාමාජිකයන්ගේ සහ හිතවතුන්ගේ සහභාගීත්වයෙන් ඉතා චාම් අයුරින් පවත්වා තිබේ.
සානියා චන්දොක්, මුම්බායි නුවර ඉහළම බලයක් හිමි ව්‍යාපාරික පවුලකින් පැවත එන්නියකි. ඇයගේ පවුල වන ගායි පවුල, ඉන්දියාවේ සත්කාරක සහ ආහාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන අතර, සුප්‍රකට ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටල් ජාලය සහ 'බෘක්ලින් ක්‍රීමරි' අතුරුපස සන්නාමය ඔවුන් සතුය. කෙසේ වෙතත්, ඇය සිය පවුලේ ඉහළ ප්‍රසිද්ධිය මධ්‍යයේ වුවද, ඉතා පෞද්ගලික ජීවන රටාවක් අනුගමනය කරන්නියක ලෙස ප්‍රකටය.
මෙම විවාහ ගිවිස ගැනීම පිළිබඳව පැතිර යන ආරංචි මධ්‍යයේ වුවද, තෙන්ඩුල්කාර් හෝ ගායි පවුල විසින් මෙතෙක් ඒ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. අර්ජුන් ද සමාජ මාධ්‍ය තුළ මේ පිළිබඳව කිසිදු සටහනක් තබා නොතිබීම විශේෂත්වයකි. ඔහුගේ අවසන් ඉන්ස්ටග්‍රෑම් සටහන වූයේ සිය සොයුරිය වන සාරා සමග රාක්ෂා බන්ධන් උත්සවය වෙනුවෙන් කළ සැහැල්ලු වීඩියෝවකි.
අර්ජුන් සිය පියාගේ අඩිපාරේ යමින් ක්‍රිකට් දිවියේ මෙන්ම පෞද්ගලික ජීවිතයේද සමාන ගමන් මගක් අනුගමනය කරන බව පෙනේ. සචින් තෙන්ඩුල්කාර් ද සිය බිරිඳ වන අංජලිට විවාහ යෝජනා කරන විට 19 හැවිරිදි වියේ පසුවූ අතර, 1995 දී විවාහ වන විට ඔහුගේ වයස අවුරුදු 22 ක් විය.
වමත් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අර්ජුන්, දේශීය ක්‍රිකට් පිටියේ ගෝවා කණ්ඩායම නියෝජනය කරමින් ස්ථාවර දස්කම් දක්වමින් සිටී.
පළමු පෙළ තරග 17 කදී කඩුලු 37 ක් සහ ලකුණු 500 කට අධික ප්‍රමාණයක් ලබා ඇති ඔහු, 2022 රංජි කුසලානයේදී සිය මංගල තරගයේදීම ශතකයක් වාර්තා කළේය. එය, 1988 දී ඔහුගේ පියා වූ සචින් ද මුම්බායි වෙනුවෙන් සිය මංගල තරගයේදී ශතකයක් ලබා ගැනීමේ සිදුවීම සිහිපත් කරන්නකි.
'A' ශ්‍රේණියේ තරග 18 කදී කඩුලු 25 ක් සහ විස්සයි20 තරග 24 කදී කඩුලු 27 ක් දවා ගැනීමට අර්ජුන් සමත්ව ඇත. 2023 දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වරම් දිනාගත් ඔහු, 2025 වසරට පෙර කණ්ඩායමෙන් නිදහස් කෙරුණ ද, මෙගා වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 30 කට නැවතත් එම කණ්ඩායම විසින්ම මිලදී ගන්නා ලදී