තරුණ පරපුර ඇත්තටම සතුටින් ද, ඔවුන් සිහින හඹා යනවා ද, නැතිනම් නිහඬව දුක් විඳිනවා ද, මේ ප්‍රශ්න වර්තමාන සමාජයේ බොහෝදෙනා නොසලකා හරින සැඟවුණු යථාර්ථයක් බවට පත්ව තිබේ. මතුපිටින් පෙනෙන සිනහව පිටුපස, බොහෝ තරුණ තරුණියන් දැඩි මානසික පීඩනයකින් පෙළෙන බවද නොරහසකි. වර්තමාන සමාජයේ තරුණයන්ගේ මානසික පීඩනය, සමාජයේ සැඟවුණු අඳුරු සෙවණැල්ලක් බවට පත්ව තිබේ. අද වනවිට ලෝකය පුරාම මෙන්ම අපේ රටෙත් තරුණ පරපුර මුහුණදෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ මානසික පීඩනයයි. බැලූ බැල්මට සාර්ථක, සතුටින් සිටින බව පෙනුණත්, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තමන්ගේම සිතුවිලි සමග සටනක නිරත වන බව සැබැවින්ම තරුණ සිත්වල පවතින රහසකි. මෙය අපගේ සමාජය තුළ දිනෙන් දින වර්ධනය වන නමුත් එතරම් කතාබහට ලක්නොවන සැඟවුණු ගැටලුවක් බවට පත් වී තිබේ. මානසික පීඩනයට හේතුවන විවිධ සාධක රැසක් හඳුනා ගතහැකි වේ. අද වනවිට තරුණ පරපුර මුහුණදෙන ප්‍රධානම අභියෝගය වන්නේ අධ්‍යාපන පද්ධතියේ පීඩනයයි. කුඩා කල සිටම විභාග සහ තරගකාරීත්වයට හුරු වූ ඔවුන්ට, සමාජයෙන් සහ දෙමාපියන්ගෙන් එල්ල වන අපේක්ෂාවන් දැරිය නොහැකි තරම් පීඩනයක් බවට පත්ව තිබේ. ඊට අමතරව රැකියා සහ ආර්ථික අභියෝග තරුණ පරපුරට වර්තමාන ආර්ථිකය හමුවේ දැඩි පීඩනයක් බවට පත් වී තිබේ. සුදුසුකම් සහිත තරුණයන්ට
රැකියා සොයාගැනීමේ අපහසුතාව, රැකියා විරහිතභාවය සහ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානු ලබන ප්‍රබල ගැටලුවකි. අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය සහ ආරක්ෂාවක් නැතිකම ඔවුන්ව දැඩි බියකට පත්කර තිබේ. වර්තමාන සමාජයේ තවත් ප්‍රබල බලපෑමක් එල්ල කරන්නේ සමාජ මාධ්‍යයයි. අන් අයගේ පරිපූර්ණ යැයි හැඟෙන ජීවිත දකිනවිට තමන්ගේ ජීවිතය අසාර්ථක යැයි නිර්ණය කරන හැඟීම් ඕනෑ තරම් සමාජ මාධ්‍ය තුළින් ඉස්මතු කරයි. අසත්‍ය ජීවන රටා සහ සමාජ පිළිගැනීමේ පීඩනය තරුණ පරපුර තුළ අනවශ්‍ය තරගකාරීත්වයක් සහ මානසික පීඩනයක් ඇති කරන බව වර්තමාන සමාජය තුළදී දක්නට ලැබේ. සබඳතා බිඳ වැටීම, පවුල් පසුබිම් ගැටලු මේ ආදී විවිධ කාරණා තරුණ මනසට පීඩාකාරී හැඟීම් ගෙන එනු ලබයි.
නමුත් මෙහි ප්රතිඵලයන් ලෙස විවිධ රෝගාබාධයන්ට පවා ගොදුරු වීමට ඇති ඉඩකඩ වැඩි වේ. හිසරදය, හෘද ස්පන්දන වේගය වැඩි වීම, ආහාර දිරවීමේ ගැටලු වැනි රෝග මානසික පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස මතු වේ. මෙම නිසා මානසික සෞඛ්‍යය ශාරීරික සෞඛ්‍යයට ද ඍජුව බලපාන බව අප තේරුම් ගතයුතුයි. මානසික පීඩනයෙන් පෙළෙන තරුණයකුගේ හැසිරීම් රටාව බොහෝවිට වෙනස් වේ. ඔවුන් තනිවම සිටීමට දැඩි කැමැත්තක් දක්වයි, කෝපය සහ කලකිරීම වැඩි වීම, නින්ද නොයෑම හෝ වැඩිපුර නින්ද යෑම සහ ආහාර ගැනීමේ අක්‍රමිකතා වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. මෙවැනි තත්ත්වයන් දිගින් දිගටම පැවතුණහොත්, එය සියදිවි නසාගැනීමේ සිතුවිලි, මත්ද්‍රව්‍යවලට හෝ මත්පැන්වලට ඇබ්බැහි වීම වැනි දරුණු ප්‍රතිඵලවලට හේතු වීමට ද වැඩි ඉඩකඩක් පවතී. වර්තමානයේ සිදුවන තරුණ සිය දිවි නසා ගැනීම්වලට ප්රබලතම හේතු සාධකය වන්නේ මානසික පීඩනයයි. මෙම ගැටලුවට විසඳුම් සෙවීමට තනි පුද්ගලයකුට නොහැකි වේ. පළමුවෙන්ම පවුලේ සාමාජිකයන් සහ මිතුරන් තරුණයන්ට සවන් දීමට පුරුදු විය යුතුය. ඔවුන්ගේ ප්‍රශ්න විනිශ්චය නොකර, කතා කිරීමට අවස්ථාවක් ලබාදීම වැදගත් වේ. අධ්‍යාපන ආයතන තුළ මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කළ යුතුයි. පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමේ උපදේශන සේවා ලබාදීමෙන් බොහෝදෙනකුට උපකාර ලැබෙනු ඇත. රජයත් මේ සඳහා විශේෂ ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු වේ. වර්තමාන සමාජය තුළ මානසික සෞඛ්‍යය පිළිබඳ විවෘත සංවාදයක් ඇති කළ යුතුයි. මානසික රෝග යන වචනාර්ථයට තියෙන ලැජ්ජාව සහ බිය නැති කර එය සාමාන්‍ය දෙයක් බවට පත් කළ යුතුයි.
නවීන ලෝකයේ වේගවත් ජීවන රටාවත් සමග තරුණ පරපුරට මුහුණ දීමට සිදුවන අභියෝග රාශියකි. අධ්‍යාපනය, රැකියා, ආදර සම්බන්ධතා, පවුල් අපේක්ෂාවන් සහ සමාජ මාධ්‍ය බලපෑම් වැනි විවිධ ක්ෂේත්රවලින් එල්ල වන පීඩනයන් නිසා ඔවුන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි ඍජු බලපෑමක් ඇති වී තිබේ. අවාසනාවකට, බොහෝවිට මේ තත්ත්වය සමාජයේ කතා නොකරන, සැඟවුණු ගැටලුවක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාව වැනි රටවල, මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව කතා කිරීම තවමත් සමාජයේ යම් තරමක නිෂේධනාත්මක ආකල්පයකට ලක්ව තිබේ. ‘මානසික රෝග’ යනු දුර්වලකමක් ලෙස හෝ ලැජ්ජා සහගත තත්ත්වයක් ලෙස සලකන නිසා තරුණයන්ට තම ගැටලු විවෘතව ප්‍රකාශ කිරීමට බියක් සහ පසුබට වීමක් ඇති වේ. ඔවුන් තම පීඩනය හුදෙකලාව විඳ දරා ගන්නා අතර, උදව් ලබාගැනීම සඳහා පෙළඹෙන්නේ නැත. මීට අමතරව, සාම්ප්‍රදායික පවුල් වටපිටාවේදී, බොහෝ වැඩිහිටියන් තම දරුවන්ගේ මානසික ගැටලු හඳුනාගැනීමට හෝ ඒවාට නිසි අවධානයක් යොමු කිරීමට අපොහොසත් විය හැකිය. ඔවුන් බොහෝවිට මෙම ගැටලු ‘කම්මැලිකම’ හෝ ‘නොසැලකිලිමත්කම’ ලෙස සලකා බැහැර කරති. තරුණ පරපුර යනු රටක අනාගතයයි. ඔවුන්ගේ මානසික යහපැවැත්ම ආරක්ෂා කිරීම, නීරෝගී සහ ඵලදායී සමාජයක් ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය ආයෝජනයකි. මේ සැඟවුණු අභියෝගය හඳුනාගෙන, එයට මුහුණ දීමෙන් පමණක් අපට මේ තත්ත්වය වෙනස් කර තරුණ පරපුරට වඩාත් යහපත් හෙට දවසක් උදා කළ හැකිය.