මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට ප්‍රදීප් නිලංග දෑල මහතා තෙවන වරටත් තේරී පත්විය.
මේ අනුව ප්‍රදීප් නිලංග දෑල මහතාට 2035 දක්වා වසර 10 ක කාලයක් පුරා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය හෙබවීමේ අවස්ථාව හිමිවෙයි.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයට 2005 වසරේ දී ඡන්ද 199 ක් ලබා ගනිමින් මුල්වරට තේරී පත්වූ නිලංග දෑල මහතා 2015 වසරේ දී යළිත් එම ධුරයට පත්වූයේ ඡන්ද 205 ක් ලබා ගනිමිනි. තෙවන වරටත් දියවඩන නිලමේ ධුරයට පත්වීමත් සමග වැඩිම කලක් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය දරන පුද්ගලයා ලෙස නිලංග දෑල මහතාගේ නම ඉතිහාසයට එක්වෙයි.
ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරවරයා පත්කර ගැනීමේ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී 7 දා පැවැත්විණි.
මෙවර දියවඩන නිලමේ ධුරය සඳහා ප්‍රදීප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ, ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, මහාචාර්ය තිලක් සුබසිංහ, ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ යන මහත්වරුන් ඉදිරිපත් වන බව කල්වේලා ඇතිව ප්‍රසිද්ධ කර තිබිණි.
එසේ වුවත් මහාචාර්ය තිලක් සුබසිංහ, ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ යන අයගේ නම් යෝජනා කිරීමට ඡන්ද දායකයින් කිසිවකු හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ට රැස්වීම් ශාලාවේ රැඳී සිටීමට අවසර නොලැබිණි.
තරිඳු දෑල මහතාගේ නම නම් යෝජනා ස්ථිර වුවත් ඔහු පසුව අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්විය.
නම් යෝජනා ස්ථිරත්වයෙන් දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ ඡන්ද වීමසීම සිදුවන අවස්ථාවේ අපේක්ෂකත්වය හිමි වූයේ වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, පස්ගම ශ්‍රී නාථ දේවාලයේ සහ මහනුවර මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ හා ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ සහ මහනුවර මහා නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරුන්ටය.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ද උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත් රජමහා විහාරස්ථානවල ගිහි පැවිදි භාරකරුවන් ද බස්නායක නිලමේවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ද දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබිණි.
මෙහි දී සමස්ත 267 ක් වූ ඡන්ද සංඛ්‍යාවෙන් ප්‍රදීප් නිලංග දෑල මහතාට ඡන්ද 195 ක් ද දමින්ද උඩුරාවණ මහතාට ඡන්ද 50 ක්ද ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක මහතාට ඡන්ද 13 ක්ද ද ලැබිණි.