ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයට රුසියානු න්‍යෂ්ඨික තාක්ෂණික දැනුම !

ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතෙරි පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සමග පසුගියදා නිල සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

 කලක පටන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ද්විපාර්ශ්වික සම්බන්ධතාවය සහ ආර්ථික සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීමට රුසියානු තානාපතිවරයා සිය කැමැත්ත පලකර තිබේ.

 ඒ වෙනුවෙන් රුසියානු රජය විසින් දියයුතු සහාය නොපිරිහෙලා ලබාදෙන බව තානාපතිවරයා සඳහන් කර ඇත.

තවද මීට ඉහතදී ද ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයට න්‍යෂ්ඨික තාක්ෂණික දැනුම ලබාදීම පිළිබඳව නිල සාකච්ඡා පැවැත්වූ බවත්, රුසියාවේ පරමාණුක බලශක්ති නියාමන කොමිසම විසින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය වෙත දැනුම, පුහුණුව ඇතුලු අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට සූදානම් බවත් රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මෙහිදී තිරසාර සංවර්ධන අරමුණු මත පිහිටා වත්මන් රජය විසින් ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති පිළිබඳව තානාපතිවරයාට පැහැදිළි කර ඇති විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හරිත හා පුනර්ජනනීය බලශක්ති කෙරෙහි යොමුවිමේ ගෝලීය අවශ්‍යතාවයද  පෙන්වා දී ඇත.

''වසර 30 කට අධික කාලයක් තුළ ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලවූ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී, ශ්‍රී ලංකා රජයට දැක්වූ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය පිළිබඳව ඇමතිවරයා රුසියානු රජයට සිය කෘතඥතාවය පළ කර තිබේ.''

එසේම ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට සහයෝගය පළකිරීමට එක්වීම ගැන රුසියානු තානාපතිවරයාට සිය ස්තුතිය පළකර ඇති විදුලිබල අමාත්‍යවරයා, වසර 30 කට අධික කාලයක් තුළ ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලවූ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී, ශ්‍රී ලංකා රජයට දැක්වූ රාජ්‍යතාන්ත්‍රික සහයෝගය පිළිබඳව ඇමතිවරයා රුසියානු රජයට සිය කෘතඥතාවය පළ කර තිබේ.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ රුසියානු තානාපතිවරයා අතර පැවති මෙම නිල සාකච්ඡාවට රුසියානු තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඔලෙග් රුඩ්නෙව් ද එක්ව සිටියේය.