හදිසි නීතිය ගෙනාවේ කැමැත්තෙන් නෙමෙයි - විජයදාස රාජපක්ෂ (VIDEO)

වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමු යෝජනාව වූ හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්

කළේ කැමැත්තකින් නොවන බව අධිකරණ බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

ඊයේ (27) දින පාර්ලිමේන්තුව අමතා ඔහු මේ බව කියා සිටියේ ය.

"අපි හදිසි නීති කැමැත්තෙන් ගේන්නේ නෑ. අලුත් ආණ්ඩුවේ පලවෙනි යෝජනාව විදියට සතුටින් නෙවෙයි මේක ඉදිරිපත් කළේ. අපි කාටත් අද ආරක්ෂාව ලැබිලා තියෙන්නේ, අපි රෑට නිදාගන්නේ මේ රටේ පොලිසියයි ත්‍රිවිධ හමුදාවයි අවදියෙන් ඉන්න නිසා. ඒ ගොල්ලෝ කැප කරන නිසා. තමන්ට ආරක්ෂාව දෙන පොලිසියට ත්‍රිවිධ හමුදාවට මිලේච්ඡ ලෙස ආමන්ත්‍රණය කරනවා නම්, යකඩ පොලුවලින් ගහලා ඔලු ගෙඩි පලලා රෝහල් ගත කරලා තියෙනවා නම් කොහොමද අපි ඔවුන්ගෙන් සේවයක් බලපොරොත්තු වෙන්නේ. ඒ උදවියත් ගෞරවනීය සේවයක් කරන්නේ. ඒ නිසා රටේ නීතියේ ආධිපත්‍ය බිඳ හැලුනොත් විපක්ෂය ද ආණ්ඩු පක්ෂයද කියන එක වැදගත් නෑ. කාගේවත් ජිවිතවලට අපිට ආරක්ෂාව දෙන්න බෑ. ඒක නිසා මේක ඉතාම සංවේදී කාරණයක්. මේ රටේ ජාතක අවශ්‍යතාවක් විදියට අප කටයුතු කරන්න ඕන.