පුද්ගලයෙකුගේ පෙණහල්ලේ දතක්

බලන්ගොඩ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති

පශ්චාත් මරණ පරීක්ෂණයකදී 59 හැවිරිදි පුද්ගලයකුගේ පෙණහල්ලේ තිබී දතක් හමුවූ පුවතක් ඊයේ (27) වාර්තා විය.

මෙම පුද්ගලයා කලක සිට නිව්මෝනියා සහ වකුගඩු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිට තිබුණි.

බලන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩී. චේති සත්‍ය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේදී දතක් පෙණහල්ලේ තිබී හමුවූ බව බලන්ගොඩ හදිසි මරණ පරීක්ෂක පත්මේන්ද්‍ර විජේතිලක ප්‍රකාශ කළේය.

මෙසේ මියගොස් ඇත්තේ බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ වලේබොඩ පදිංචි එස්. කරුණාරත්න නමැති අයෙකි.

මෙම පුද්ගලයා මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවත් නිව්මෝනියාව උත්සන්නවීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවත් වාර්තා වී තිබුණි.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ මීට වසර කිහිපයකට පෙර ඔහුගේ මුඛයේ දතක් ගැලවී ගොස් පෙණහැල්ලේ සිරවී ඇති බවට සැක කෙරෙන බවය.

(උපුටා ගැනීම අරුණ පුවත්පත)