නිවසකට පැන එල්ල කළ ප්‍රහාරයේදී T56 පත්තු නොවෙයි

මහබාගේ මත්තුමගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු

වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබේ.

ඒ අපරාධයට පැමිණි පිරිස රැගෙන ආ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙනි.

අද (28) උදෑසන 7.45ට පමණ මහබාගේ, මත්තුමගල ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ තිබුණි.

පොලීසිය පැවසුවේ එහිදී යතුරුපැදියේ පැමිණි අයෙක් අදාළ නිවසේ සිටි පුද්ගලයෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සහා දරා ඇති බවය.

නමුත් එම අවස්ථාවේදී ගිනි අවියේ මැගසින් කොටස අවියෙන් ගැලවී බිම වැටී තිබේ.

ඒ සමග නිවැසියා වෙඩික්කරු සමග පොරබදා ඇති අතර වෙඩිකරු යතුරුපැදියේ නැගී පළාගොස් තිබුණේ ඔහුගේ හෙල්මටය සහ ගිනිඅවියේ මැගසිනයද අත්හැර දමමිනි.

පොරබැදීමෙන් සුළු තුවාල ලැබූ නිවැසියා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)