ඩොලර් බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය

සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව රජය අද (16) නිල වශයෙන් නිවේදනය කළේය.

කෙසේවෙතත්, දෙපාර්ශ්වයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කරගැනීමට ඉදිරි සති කිහිපය තුළ කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර බැඳුම්කරහිමියන් සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ දැනුවත් කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඊයේ පැවසුවේ, පසුගිය මාර්තු මස අවසානයේ දී ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවලදී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටලුකාරීත්වයක් පැන නැඟුණු බවය.

කෙසේවෙතත් ඉන් කරුණු දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවත් සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවත් සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය අද නිවේදනය කළේ, ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් එම බැඳුම්කරහිමියන්ගේ නියෝජිත කමිටුව සමග පසුගිය සති තුන මුළුල්ලේ පැවැත්වූ මූලික වටයේ සාකච්ඡා අවසන් කළ බවය.

එම සාකච්ඡාවලදී ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසි පිළිබඳ අවසන් එකඟතාවක් ඇති නොවූ බව සඳහන් ය.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා ණය වැඩසටහනේ දෙවැනි ඇගයීම සලකා බැලීමට පෙර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහිමියන් සමග පොදු එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කර තිබේ.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහිමියන් සඳහා පියවිය යුතු මුළු ණය මුදල ඇස්තමේන්තු කර ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 12ක් ලෙසය.

(Ada derana)