හමුදා පොදු සමාව ගැන ඉල්ලීමක්

නීතියානුකූල ලෙස නිවාඩු ගෙන සේවයට

වාර්තා කර නොමැති ත්‍රිවිධ හමුදාව සඳහා

ලබා දී ඇති පොදු සමා කාලය වෛද්‍ය අංශයේ නිරත රණවිරුවන් සඳහා ද ලබාදීමට කටයුතු කළ යුතු බව එක්සත් රණවිරු ප්‍රජාව පවසයි.

එම සංගමයේ කැඳවුම්කරු අසේල ධර්මසිංහ මහතා පැවසුවේ, වෛද්‍ය අංශයේ සේවයේ නිරත රණවිරුවෙකුගේ මාසික වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බවය.

"යුද හමුදා රණවිරුවන්ට පොදු සමාව ලබාදෙමින් සිටිය දී ඊට දින දෙකකට පස්සේ, ත්‍රිවිධ හමුදාපතිවරු ලියුමක් ගහනවා වෛද්‍ය හා දන්ත වෛද්‍යවරුන්ට මේ වරප්‍රසාදය ලබාදෙන්න එපා කියලා. මේ සියලු රණවිරුවන් උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් ඉගෙන ගත්ත ළමයි. පාබල රෙජිමේන්තුවක ඉන්න සෙබළෙක් සහ වෛද්‍ය අංශවල වැඩකරන රණවිරුවෙක්ගේ වෙනස රුපියල් 425යි. මේ අය විශ්වවිද්‍යාල යන්න හිටිය ළමයි. මේ වෙද්දි මේ අය සේවය අතහැරලා ගිහින් තියෙන්නේ. විශේෂයෙන් අවධාරණය කරනවා මේ රණවිරුවන්ටත් මේ වරප්‍රසාදය ලබාදෙන්න. රණවිරු රෝහල් රැකගන්න අවශ්‍ය නම්, නිසි වැටුපක් දෙන්න."

මේ අතර, නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබේ.

අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව එම පොදු සමා කාලය තුළ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 7,156 දෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය.

යුද හමුදා සාමාජිකයින් 7,143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිව ඉවත් කිරීම සිදුකර ඇති බවද වාර්තා වේ.

ඊට අමතරව නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර දැනට විදෙස්ගතව සිටින යුද හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද යුද හමුදා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත්වීම සඳහා කටයුතු කර ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය.

මෙම පොදු සමා කාලය මැයි මස 20 වැනි දින දක්වා ක්‍රියාත්මකය.

(Ada derana)