අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

කොළඹ වරාය මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය

සම්බන්ධයෙන් විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා ඉවත්ව තිබේ.

අදාළ නෞකාවේ කපිතාන්වරයා සහ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අපරාධ නඩුවක විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති අභියාචනා පෙත්සම් සලකා බැලීමේ මෙම විනිසුරුවරයා ඉවත්ව ඇති බව සඳහන්ය.

මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා පුද්ගලික  සමාගමේ අධ්‍යක්ෂවරු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඊයේ (07) කැඳවනු ලැබීය.

එස්.තුරෙයි රාජා, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවීම සිදු වූ බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එම අවස්ථාවේදී  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා සඳහන් කළේ, පෞද්ගලික හේතූන් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවය. 

ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 21 වන දා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

එහෙත් එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙසත් කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

(Ada derana)