කාලගුණයෙන් රතු නිවේදනයක්

තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (23) රාත්‍රී 10.30 දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාවන්ට අදාළ රතු නිවේදනය නිකුත් කර තිබේ.

එම ප්‍රජාවන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසත් හෙට (24) වන විට පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය බෙංගාල බොක්කෙහි මධ්‍යම ප්‍රදේශය හරහා පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉන්පසුව එය බෙංගාල බොක්ක ඊසාන දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වේ.

ඒ වනවිට දිවයින වටා මුහුදු ප්‍රදේශවලත් ගිනිකොණදිග අරාබි සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් ඉතා තද සුළං පැ.කි.මී 60 - 70 දක්වා ඇති විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකිය.

එමෙන්ම ඉහත සිතියමේ දැක්වෙන මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ද නාවිකයින්ට හා ධීවරයින්ට දැනුම්දී තිබේ.

දැනට එම ප්‍රදේශවල සිටින අයට වහාම ගොඩබිමට පැමිණෙන ලෙසත් ඉදිරි නිවේදන ගැන සැලකිලිමත් වන ලෙසත් දැනුම්දී ඇත.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (23) දිනයේත් මි.මී 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිරත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් තද වැසි හා සුළං තවදුරටත් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී.

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඇති විය හැකිය.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

(Ada derana)