අද මිත්‍යාවෙන් ඉවත්වී විද්‍යාවට නැඹුරු වෙනවා - ජනපති

විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට

මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථේරවාද බුදුදහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යාමට කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (23) පෙරවරුවේ මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය මාර්ගගත ක්‍රමය ඔස්සේ අමතමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගිවීමට නියමිතව තිබුණද, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගි නොවුණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"මාතලේ දිස්ත්‍රික්කය අපේ ථේරවාද බුදු දහමේ වැදගත් ස්ථානයක් බව කිවයුතුයි. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම සිදු වූයේ මේ මාතලේ අළුවිහාරයේදීයි. ඒ නිසා බුදුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා වෙලා තිබෙනවා. අප ථේරවාද බුදු දහම පිළිබඳ වැඩි වැඩියෙන් අවධානය යොමු කළයුතුයි.

අනුරාධපුර යුගයේ පැවති පිරිවෙන්වලින් බිහි වුණේ මහා සංඝයා වහන්සේලා පමණක් නොවෙයි. ලෝකයේ ප්‍රධානම වාරි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ අරම්භ කිරීමට එම අධ්‍යාපනය නිසා අවස්ථාව ලැබුණු බව සෙනරත් පරණවිතාන වැනි වියතුන්ගේ මතය වුණා.

අද ලෝකය මිථ්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙමින් සිටිනවා. වැඩි වැඩියෙන් විද්‍යාව පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. නව තාක්ෂණය සමග ශත වර්ෂ ගණනාවක අපගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය අංශය සහ තාක්ෂණ අංශය දියුණු වී තිබෙනවා. තාරකා ලෝකය පිළිබද ඇති නව දැනුම මෙන්ම කෘත්‍රීම බුද්ධි තාක්ෂණය මඟින් ලැබෙන දැනුම දියුණුවීමත් සමග අපට තවත් ප්‍රශ්න කිහිපයකට මුහුණදීමට සිදු වෙනවා.

නමුත් ථේරවාද බුදු දහම අනුගමනය කරන සහ එහි නියම අර්ථය පිළිබඳ දැනුවත් අයට මෙය ගැටළුවක් වන්නේ නැහැ. ථේරවාද බුදු දහම තුළින් මෙම ගැටළුවලට විසඳුම් සෙවිය හැකියි. එබැවින් ථේරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගැනීමට අප අවධානය යොමු කළයුතුයි."

(Ada derana)