ආපදා මරණ ඉහළට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ

සංඛ්‍යාව මේ වනවිට 06ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඉදිරි පැය 24 තුළ සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවය.

නිරිතදිග මෝසම ක්‍රමයෙන් සක්‍රීය වීමත් සමග ප්‍රදේශ රැසකට මේ වනවිට අධික වැසි ඇදහැලෙමින් පවතී.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 104.6ක් ලෙස වාර්තා වුණේ, නුවරඑළිය - වටවල ප්‍රදේශයෙනි.

තද වැසි සමග ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, දේපළ හා නිවාස හානි මෙන්ම පුද්ගල මරණ හයක්ද වාර්තා වෙයි.

වර්ෂාවත් සමග හංවැල්ල වග ප්‍රදේශයේ මාර්ගයකට කඩා වැටුණු පුළුං ගසකට යටවීමෙන් යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණි.

මෙලෙස මියගොස් ඇත්තේ වග ප්‍රදේශයේ පදිංචි උපුල් අනුරුද්ධ ලියනගේ නම් 47 හැවිරිදි දෙදරු පියෙකි.

මේ අතර, පුත්තලම මුන්දලම හන්දිය ප්‍රදේශයේ මාර්ගයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකු මතට ගසක් කඩාවැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගියේ එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණියක් වන අතර අනෙක් තරුණිය බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කෙරුණි.

මේ අතර, හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ෆයිනස් ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

එම මාර්ගයේම ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් එහි ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල්ගත කෙරුණි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම හා බද්දේගම අතර කොටසේදී අධිවේගී මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වූ අතර පසුව බලධාරීන් එක්වී එක් මංතීරුවක් විවෘත කර වාහන ධාවනයට ඉඩ සලසා දුනි.

(Ada derana)