ග්‍රාම නිලධාරී වැටුප් ගැටලුවට සාගලගෙන් විසඳුමක්

රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට

ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එමෙන්ම පවතින ගැටලු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමට කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවය.

ග්‍රාම නිලධාරී සේවයේ පවතින ගැටලු පිළිබඳව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය හා අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දී තිබේ.

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පිළිබඳව ඇති ගැටලු මෙන්ම වැටුප් තලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කර තිබේ.

මෙහිදී ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසා ඇත්තේ, ග්‍රාම නිලධාරී සේවයේ උසස් වීම් පිළිබඳව ගැටලු රැසක් මතුවී ඇති බැවින් ඒවා විසඳමින් සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කළ යුතු බවය.

ඒ අනුව මේ වන විට කෙටුම්පත් කර රාජ්‍ය සේවා කොමිසමෙහි අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාධනීය යෝජනා ඉදිපත් කරන ලෙස සාගල රත්නායක මහතා දැනුම් දී තිබේ.

එසේම ග්‍රාම නිලධාරී සේවය ග්‍රාමීය මට්ටම තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන වසර හැට එකක් පැරණි සේවාවක් බැවින් ඒ සඳහා සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඇති බව ඔහු පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

(Ada derana)