අපරාධ චෝදනා එල්ල වූ කල්ලියක් කොටුකර ගත් මෙහෙයුම

සංවිධානාත්මක අපරාධ චෝදනා සහිත කාන්තාවක්

ඇතුළු තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මඟින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනුණේ විදෙස්ගතව සිට මෙරට අපරාධ ජාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට හඳුනාගත් අපරාධකරුවන් වන අලන්ගෝරන් ජෝතිරූබන් හා ඉෂාර ලක්මාල් නොහොත් සේදවත්ත කසුන් නමැත්තන් පිළිබඳ කළ දීර්ඝ විමර්ශනයකින් පසුවය.

එම සැකකරුවන් සහ සැකකාරිය සතුව තිබී ටී 56 ගිනිඅවි 2ක්, මැගසින් 2ක්, ජීව උණ්ඩ 26ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 149ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

මොවුන් අපරාධ සඳහා අවි ආයුධ කුලියට දුන් පිරිසක් බව පොලීසිය පවසයි.

ඔවුන් එම අවිවල අංක මකා ඇති අතර මෙම අවි විවිධ අපරාධ සඳහා ප්‍රවාහනය කිරීමට අත්අඩංගුවට ගත් සැකකාරිය සහාය දක්වා ඇති බව පොලීසිය පෙන්වාදෙයි.

පසුගිය ජනවාරි පළමුවෙනිදා වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රෙද්ශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

(Ada derana)