සිව් හැවිරිදි දරුවෙකුට හිංසා කළ මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

අවුරුදු හතරක් වයසැති කුඩා දරුවෙකුට

කෲර වධ හිංසා කළ මවක් සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

වැලිගම පොලිස් වසමේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක් සිය අවුරුදු හතරක් වයසැති සිය පුතුට අතින් පයින් පහරදී පසුව එම දරුවාව නිවසින් පිටත දමා ලණුවක් භාවිතා කරමින් ගේට්ටුවේ ගැට ගසා කෘෘර වධ හිංසාවට ලක්කොට තිබු බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ නමුත් මේ පිළිබඳව ඊයේ (6) දින රාත්‍රි 9ට පමණ ප්‍රදේශවාසීන් විසින් දැක පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත (119 ) දැනුම් දී තිබේ.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර හිංසනයට ලක් වූ අවුරුදු හතරක් වයසැති දරුවාව වැලිගම වලාන දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

දරුවාගේ මව සහ ඇගේ අනියම් සැමියා වූ වැලිගම මූදුගමුව ප්‍රදේශයේ පදිංචි වයස 40ක පමණ පුද්ගලයකු විසින් ද මෙම දරුවාට පහරදී කෲර වධ හිංසනයට ලක් කොට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාළ කාන්තාව සහ අනියම් සැමියා වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

දරුවා විසින් කිසියම් වයරකට හානි කළ බව පවසමින් මෙම පහරදීම සිදුකළ බවට කරුණු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කාන්තාව සහ ඇගේ අනියම් සැමියා වැලිගම පොලීසිය මඟින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(Ada derana)