දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

උසස්වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම්

කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (14) පස්වරු 2.00 පෙර සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව එම සංගමය පවසයි.

එකම සේවා ගණයට අයත්ව සිටි ශ්‍රේණිවලින් දුම්රිය ස්ථානාධිපති ශ්‍රේණිය සිතාමතා මඟහැර සෙසු ශ්‍රේණි සඳහා වසර පහෙන් පහට උසස්වීම් ලබාදීම මගින් දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙම තත්ත්වය නිරවුල් කරගැනීම සඳහා අවස්ථා ගණනාවක දී බලධාරීන් සමඟ සාකච්ඡා කළ ද එහිදී ලබාදුන් එකඟතා මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ඔවුන් පවසයි.

සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගැනීම පසෙකලා හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන පාර්ශ්වවල ගැටලු සඳහා බලධාරීන් ක්ෂණිකව මැදහත් වී විසඳුම් ලබා දෙනු ලැබුව ද සිය ඉල්ලිම් සඳහා මෙතෙක් විසඳුම් ලබානොදීම කනගාටුවට කරුණක් බව දුම්රිය ස්ථාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.