ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දුන් පණිවුඩය

මෙරට මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු

ඊට අනුකූලව සිය විස්තීර්ණ ණය වැඩසටහනේ කාලසටහන සකස් කරගැනීම පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ තුන්වැනි වාරිකය මුදාහැරීමෙන් අනතුරුව වොෂින්ටන් නුවර අද පැවති මාධ්‍ය හමුවකදි IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් සඳහන් කළේ ණය වැඩසටහනේ වෙනසක් යෝජනා කරන්නේ නම් ඒවා ප්‍රායෝගික සහ වැඩසටහනේ කාලරාමුව තුළ ළඟා කරගත හැකි විය යුතු බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහාවන විස්තීර්ණ ණය පහසුකම යටතේ එහි තුන් වැනි වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදල මුදාහැරීමට එහි විධායක අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේය.

ඒ අනුව ඒ පිළිබඳව කරුණු දැක්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණි.

පීටර් බෘෘවර් - ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

"IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාව සමග පවතින මාස 48ක ණය වැඩසටහනේ දෙවැනි ඇගයීම සහ ‘ආර්ටිකල් ෆෝ‘ උපදේශනය සමාප්ත කළා. ඒ සමගම ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 336ක් ලබාගැනීමට ප්‍රවේශය හිමිවනවා. ස්ථාවරත්වය ළඟාකර ගැනීමේ සිට පූර්ණ ආර්ථික ප්‍රකෘතිමත්භාවය ලබාගැනීම රජයේ පූර්ණ සහභාගීත්වයෙන් සහ මහජනතාව සමග ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගැනීම වැදගත් වනවා. මේ අකාරයෙන් අසීරු අන්දමින් ගොඩනඟාගත් ප්‍රගතිය ඉදිරියට ගෙන යමින් අදාළ ප්‍රතිසංස්කරණ උදෙසා කැපවීමෙන් කටයුතු කරන ලෙස අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා". 

ප්‍රශ්නය - නිල ණයහිමියන් සමග අවබෝධතා ගිවිසුම් සහ චීන එක්සිම් බැංකුව සමග එකඟතාවන් කඩිනමින් සමාප්ත කරන ලෙස IMF වාර්තාවෙන් ඉල්ලා තිබෙනවා. මේ ණයහිමියන් ශ්‍රී ලංකාව සමග එකඟතාවන්ට පැමිණීම පමා කිරීමට යම් හේතුවක් ඉදිරිපත් කර තිබෙනවාද? 

"අප මේ ක්‍රියාදාමය සමීපව අධීක්ෂණය කරමින් සිටිනවා. එහිදී අපට පෙනී ගොස් තිබෙන්නේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කාර්යක්ෂම ප්‍රගතියක් අත්කරගෙන ඇති බව. මෙතැනින් ඉදිරියට යාමට සහ ණය තිරසරභාවය ඇතිකර ගැනිමට එය වැදගත්. ඇත්තෙන්ම මෙම ගිවිසුම් දෙකම නිමාවීමට ආසන්නයි. නිල ණයහිමියන් කණ්ඩායම් දෙක සමගම මූලික මූල්‍යමය සහ නීතිමය කරුණු සම්බන්ධයෙන් එකඟත්වයටත් පැමිණිලා තිබෙනවා. දැන් පවතින්නේ ක්‍රියාදාමය පිළිබඳ කරුණු කිහිපයක් පමණයි. එය කඩිනමින් අවසන් වනු ඇතැයි අප සිතනවා". 

ප්‍රශ්නය - විශේෂයෙන් ඉදිරි මැතිවරණයත් සමග ඇතිවිය හැකි අවදානම් සම්බන්ධයෙන් ඇතැමුන් කරුණු මතු කරනවා. ඉදිරි රජයක් විසින් ගිවිසුම් නැවත ඇගයීමට ලක් කරාවි ද යන්න පිළිබඳව IMF අවධානය යොමු වී තිබෙනවාද? 

"මැතිවරණ සම්බන්ධයෙන් සැලකූවිට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ශ්‍රී ලාංකික ජනතාව බව කිව යුතුයි. අපේ පාර්ශ්වයෙන් දකින විදිහට වැඩසටහනේ ඉලක්කයන් කරා ළඟාවීම තමයි ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් යළි ප්‍රකෘතිමත් වීමට ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ. එම ඉලක්කයන් කරා ළඟාවීම ගැන විවිධ අදහස් පැවතිය හැකියි. එම ඉලක්කයන් ළඟා කරගත හැකි ආකාරය ගැන එම අදහස්වලට සවන් දෙන්න අප සූදානම්. ඒවා ප්‍රායෝගික වැඩසටහනේ කාලරාමුව තුළ ළඟා කරගත හැකි ඒවා විය යුතුයි. ඇත්ත වශයෙන්ම ඕනෑම රටක මැතිවරණවලට අදාළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට අපි ගරු කරනවා. අප එම ක්‍රියාවලීන්ට අනුගත වීමට සූදානම්. තවම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර නැහැ. අප එවැනි අවස්ථාවක අපේ වැඩසටහනේ කාලසටහන මැතිවරණ කාලසටහන සමග සකස්කළ හැකි ආකාරය පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කරනවා."