උසස් පෙළ සිසුවෙක් නිවසෙදී වෙඩිතබා ගනී

වෙඩිතබා ගෙන සියදිවි නසා ගත් උසස් පෙළ

පාසල් සිසුවෙකු පිළිබඳ පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ගම්පොළ ඇත්ගාල පොලීසිය පැවසුවේ, රැකියාවට යන මවට වැඳ කාමරයට ගොස් ඇති අදාළ සිසුවා කාමරයේ දොර අගුල් දමාගෙන පතොරම් තුවක්කුවකින් මුඛයට වෙඩිතබා ගෙන මියගොස් ඇති බවය.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ පාර උලපනේ පදිංචි කේ.එම්.බී.ආර්.ජී. කුලසේකර නමැති 18 හැවිරිදි සිසුවෙකි.

ඔහු ගණිත අංශයෙන් මහනුවර ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ සිසුවෙකි.

ඔහුගේ මව ගුරුවරියක වන අතර පියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවයෙන් විශ්‍රාම ගොස් පුද්ගලික අංශයේ සේවය කරන්නෙකි.

එකම සොහොයුරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන අතර එකම සොයුරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ පුහුණුවන වෛද්‍යවරියකි. 

පියා සතු මෙම ගිනිඅවිය සඟවා තිබියදී එය සොයා ගෙන ඇති සිසුවා ඉන් මෙම වෙඩිතබා ගැනීම සිදු කරගෙන තිබූ බව පරීක්ෂණ පවත්වන පොලීසිය පවසයි. 

ගම්පොළ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ මෙම සිසුවා A සාමාර්ථ 08ක් හා B සාමාර්ථයක් සහිතව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් පසු උසස් පෙළ හැදෑරීම සඳහා මෙලෙස මහනුවර ජනප්‍රිය පාසලකට ඇතුළුවී තිබුණි.

නියමිත කාලයට වසරකට කලින් උසස් පෙළට සූදානම් වූ මොහුට විභාගය කරගැනීමට නොහැකි වෙතැයි බියක් තිබූ බවද පැවසෙයි.

මෙම සිසුවා ඔන්ලයින් පාඩම් වැඩිපුරම කර ඇති අතර පරිගණකය හා ජංගම දුරකථනය නිතර පරිහරණය කර තිබෙන බවද වාර්තා වෙයි.

(Ada derana)