බැඳුම්කර එකඟතා ගැන පැහැදිලි කරයි

ජාත්‍යන්තර බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා

ශ්‍රී ලංකාව සහ ණයහිමියන් ඊයේ (03) එකඟතාවකට පැමිණ තිබේ.

ඒ යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 12.5 ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිතය.

විදෙස් ද්වීපාර්ශ්වික ණය සහ දේශීය ණය දැනටමත් ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ඇති අතර බැඳුම්කර ණය සම්බන්ධව ශ්‍රී ලංකාව සහ ණයහිමියන් ඊයේ එකඟතාවකට පැමිණියේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අදියර ද සාර්ථක කරගනිමිනි.

ශ්‍රී ලංකාවේ මුළු ණය අමෙරිකානු ඩොලර් බිලියන 100 ක් වන අතර ඊට ඩොලර් බිලියන 57ක දේශීය ණය, ඩොලර් බිලියන 37ක විදෙස් ණය සහ ඩොලර් බිලියන 6ක ඇපකර ඇතුළත් ය.

විදෙස් ණය ඩොලර් බිලියන 37 තුළ ද්වීපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහු පාර්ශ්වීය ණය ඩොලර් බිලියන 11.7ක් සහ ජාත්‍යන්තර බැඳුම්කර අමෙරිකානු ඩොලර් බිලියන 14.7ක් අන්තර්ගතය.

බහු පාර්ශ්විකය ණය ප්‍රතිව්‍යුහගත නොකෙරන අතර ද්විපාර්ශ්වික ණයවලින් ඩොලර් බිලියන 10ක් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුමට පසුගිය සතියේ අත්සන් තැබුණි.

අනතුරුව ජාත්‍යන්තර බැඳුම්කර අමෙරිකානු ඩොලර් බිලියන 14.7 න් අමෙරිකානු ඩොලර් බිලියන 12.5 ක ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව සහ ණයහිමියන් ඊයේ එකඟතාවකට පැමිණියේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අදියරද සාර්ථක කරගනිමිනි.

මෙම සාකච්ඡාවලදී බැඳුම්කර හිමියන්ගේ ස්ථාවරය වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගණනය කිරීමට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි වසරවලදී වර්ධනය වනු ඇති බවය.

යම් එහෙකින් එලෙස වැඩි වේගයකින් මෙරට ආර්ථිකය වර්ධනය වන අවස්ථාවක ණය ගෙවීමේ වාසිය බැඳුම්කර හිමියන්ට ලැබෙන ආකාරයටත්, ආර්ථිකය සංකෝචනය වුවහොත් එහි වාසිය ශ්‍රී ලංකාවට ලැබෙන ආකාරයටත් අවසන් එකඟතාවට එළැඹිය යුතු බව ඔවුන්ගේ යෝජනාව වී ඇත.‍

ඒ අනුව පැවති සාකච්චා වට තුනකින් පසුව ජුනි මස අගදී දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ තිබුණි.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පුරෝකථනය කරන අන්දමට 2027 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 88.6 ක මට්ටමේ පැවතුණහොත් ශ්‍රී ලංකාවට බැඳුම්කර ණයවලින් 28% ක මූලික ණය කපාහැරීමේ සහනයක් පිරනැමීමටය. 

යම් ආකාරයකින් දළ දේශීය නිෂ්පාදිතය IMF පුරෝකථනයට වඩා ඉහළ ගියහොත් ලබා දෙන ණය කපාහැරීම 15% ක උපරිම සීමාවක් දක්වා අඩුවන අතර මෙරට ආර්ථිකය අදාළ කාලය තුළ සංකෝචනය වුවහොත් ලබා දෙන ණය කපාහැරීමේ සීමාව 40% දක්වා ඉහළ නැංවෙයි.

මෙම එකඟතාවයන් තිරසාර ඉලක්කවලට අනුකූල වීම තක්සේරු කිරීම සඳහා නිල ණයහිමි කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතියට යොමු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.