රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

අදට යෙදී ඇති 119 වන බන්ධනාගාර දිනයට

සමගාමීව රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ, ඒ අනුව අද (16) දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබාදී ඇති බවය.

අද උදෑසන 9 සිට සවස 4 දක්වා මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ගාල්ල බන්ධනාගාරයේ කටයුතු අද සිට සීමා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මොළේ උණ වැළදීමෙන් බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යෑමත් සමග මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පසුගිය 13 වන දින මියගිය අතර එම මරණ පරීක්ෂණයේ දී මොළේ උණ රෝගයෙන් ඔහු මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

ඊට අමතරව මොළේ උණ බවට සැකකෙරෙන තවත් රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සතියකට සීමා කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ මහතා පැවසුවේය.