අධිකරණ ඇමතිගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

ඉදිරි ජනාධිපතිවරණය සදහා 2023 අංක 03 දරණ

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු මැතිවරණවල දී සිදුවන නීතිවිරෝධී ක්‍රියා, අල්ලස්, කප්පම් වැනි සිදුවීම් සඳහා වර්තමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ නීතිය අකර්මන්‍යයවී ඇති බවය.

ඒ අනුව මැතිවරණ සංස්කෘතිය වෙනස් කර නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මැතිවරණ කොමිසමේ පූර්ණ සහයෝගය ඇතිව 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බව අමාත්‍යවරයා පවසයි.

මේ හේතුවෙන් ඉදිරි මැතිවරණ සඳහා එම පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය වැළැක්වීම සඳහා ආණ්ඩුව කුමන උපක්‍රම යෙදුව ද ඒ සෑම උත්සාහයක්ම අසාර්ථක වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

කෙසේවෙතත් ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

මේ අතර රටේ පවතින ආර්ථික ගැටලුවට හොඳම විසදුම ලබාදෙන පුද්ගලයා ඉදිරි ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේය.