බෑනාගේ පොලු පහරින් මාමණ්ඩියට දිවි අහිමි වෙයි

සයින්දමරුදු 09 ප්‍රදේශයේ දී

යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයාගේ දියණිය ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් වසර 08 කට පෙර වෙන් වී තිබු අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතී.

එලෙස නඩුවක් විභාග වෙමින් පැවතිය ද ඇයගේ සැමියා ඊයේ (21) අළුයම කාලයේ අනවසරයෙන් නිවසේ තාප්පයෙන් පැන නිවසට ඇතුළුවීමට උත්සාහ කර ඇත.

එම අවස්ථාවේ දී දියණියගේ පියා විසින් මෙම පුද්ගලයාව නිවසින් එළියට තල්ලු කර මාර්ගය දෙසට ගමන් කර තිබේ.

එහිදී එකවරම මෙම පුද්ගලයා විසින් දියණියගේ පියාට යකඩ පොල්ලකින් පහර දී ඇත.

බරපතළ තුවාල ලැබූ පියා රෝහල් ගත කිරීමේ දී මියගොස් තිබේ.

ඝාතනය සිදුකළ දියණියගේ ස්වාමිපුරුෂයා සහ අනුබල දුන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 33, 20, 19, 18, 16, යන වයස්වල පසුවන සයින්දමරුදු ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් වේ.

සයින්දමරුදු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)