දයාසිරිට මෛත්‍රී පිළිතුරු දෙයි

දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක්

සමගි ජන බලවේගය සමග ගිවිසුම්ගතවීමේදී ඇති කරගත් එකඟතා හැකි නම් අනාවරණය කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට අභියෝගයක් සිදුකර තිබේ.

අගෝස්තු 08 වන දින දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය සමග එක්වීමට මේ වනවිටත් ගිවිසුම්ගතව සිටින බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට එකම වගකිවයුත්තා තමා බව හුවා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව පවසමින් එම පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු නොවන බව හා ඔහු නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවට දයාසිරි ජයසේකර මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය ද මුලුමනින්ම සත්‍යය විකෘති කිරීමක් බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත කරනු ලැබුයේ සිය පක්ෂයේ විධායක සභාව විසින් බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විධායක සභාව විසින් විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට පෙර ඔහු වෙත පක්ෂ සාමාජිකත්වය ව්‍යවස්ථානුකූල වෙත ප්‍රදානය කිරීම ද සිදුවූ බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

එක් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වෙන්දේසි කිරීමට උත්සහ දරන අතර තවත් පිරිසක් තම පෞද්ගලික දේශපාලන වාසි සඳහාම පමණක් පක්ෂය සමගි ජන බලවේගයට පාවාදීමට කටයුතු කරමින් සිටින බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.