මම කිසිදු පක්ෂයකට සහයෝගය දක්වන්නේ නැහැ - චන්ද්‍රිකා කුමාරතුංග

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී තමා කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය නොදක්වන බව දන්වමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් වන අන්දමට 2022 “ජනතා අරගලයේ” සැබෑ පණිවිඩය වටහා ගැනීමට මෙරට පක්ෂ-විපක්ෂ බහුතරයක් සමත් වී නොමැත.

මෙරට සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම වසාගෙන සිටි දූෂණය සහ භීෂණය වෙනුවට “අරගලය” හරහා මෙරට සමස්ත පුරවැසියා ඉල්ලා සිටියේ අදූෂිත, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සඳහා වන රැඩිකල් ක්‍රම වෙනසක් යැයි ඇය සඳහන් කරන්නී ය.

නමුදු එම බලවත් ජනතා අපේක්ෂාවන් වටහාගෙන, ඒ අනුව ක්‍රියාකරනු වෙනුවට ජනතාව ප්‍රතික්‍ෂේප කරන ලද දේශපාලඥයින් ම යළිත් වරක් විවිධාකාරයට මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති බව ඇය අවධාරණය කරන්නී ය.

එබැවින් එය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම අවංක ජනතා අපේක්‍ෂාවන්ට සිදු කරන නිග්‍රහයක් බව ඇගේ හැඟීම යැයි ඇය සදහන් කරන්නි ය.

මතු පළ වන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම සම්පුර්ණ නිවේදනය යි.

මාධ්‍ය නිවේදනයයි

2024 වසරේ පැවති මැතිවරණ දෙකෙහිදී මෙන් ම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ද, මම කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය නොදක්වන බව අවධාරණය කරමි.

2022 “ජනතා අරගලයේ” සැබෑ පණිවිඩය වටහා ගැනීමට මෙරට පක්ෂ-විපක්ෂ බහුතරයක් සමත් වී නොමැත. මෙරට සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම වසාගෙන සිටි දූෂණය සහ භීෂණය වෙනුවට “අරගලය” හරහා මෙරට සමස්ත පුරවැසියා ඉල්ලා සිටියේ අදූෂිත, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් සඳහා වන රැඩිකල් ක්‍රම වෙනසකි. එම බලවත් ජනතා අපේක්ෂාවන් වටහාගෙන, ඒ අනුව ක්‍රියාකරනු වෙනුවට ජනතාව ප්‍රතික්‍ෂේප කරන ලද දේශපාලඥයින් ම යළිත් වරක් විවිධාකාරයට මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇත. එය අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම අවංක ජනතා අපේක්‍ෂාවන්ට සිදු කරන නිග්‍රහයක් බව මාගේ හැඟීමයි.

මෙම පළාත් පාලන මැතිවරණය සඳහා අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සහ තවත් සමහර පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් වන ඇතැම් අපේක්‍ෂකයින් ඔවුන්ට මාගේ සහයෝගය ලැබෙන බවට ව්‍යාජ ප්‍රකාශ කරන බවට දැනගන්නට ලැබී ඇත. අත්තනගල්ල, ගම්පහ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක අපේක්‍ෂකයින් ස්වල්ප දෙනෙකුට හැර මාගේ සහයෝගය පොදුවේ වෙනත් කිසිදු පාර්ශ්වයකට ලබා නොදෙන බව අවධාරණය කරමි. ඒ සහයෝගය ලබා දෙන්නේ ද අවංක, ආචාරධාර්මික, ජනතා හිතෛශී දේශපාලඥයින් කිහිප දෙනෙකුට පමණි.

අපි අපේක්‍ෂා කරන රැඩිකල් ක්‍රම වෙනස වෙනුවෙන් අධ්‍යාපනික, සමාජීය, සංස්කෘතික විවිධ ව්‍යාපෘති හරහා මාගේ දායකත්වය හැකි උපරිමයෙන් ලබා දෙමි.

මෙවර මැතිවරණයේ දී දූෂණයෙන් සහ භීෂණයෙන් තොර මට පෙර රට ගැන සිතන වැදගත් පිරිසක් වෙනුවෙන් ඔබගේ ඡන්දය ලබා දෙන ලෙස මම ඉතා ඕනෑකමින් මෙරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි.

( චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග)

 

theleader