කෝටි 900ක කුඩු අල්ලයි

කෝටි 900ක කුඩු අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් විසින් දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රා දෙකක් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. 

 
අත්අඩංගුවට ගත් බහු දින ධීවර යාත්‍රා දෙකේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. 
 
එමෙන්ම එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 900ක් ඉක්මවා ගොස් ඇති බවටයි සඳහන් වෙන්නේ. 
 
මෙම ධීවරයාත්‍රා දෙකේ සිටි ධීවරයන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නිරෝෂ් 4 දෙවිනුවර බහු දින ධීවර යාත්‍රාව පසුගිය 14 වැනිදා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබෙනවා. 
 
එම යාත්‍රාවේ ධීවරයන් හය දෙනෙකු සිට ඇති අතර, මෙම ධීවරයන් හය දෙනා දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. 
 
නිරෝෂ් 4 යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු ගෝනි 20ක් තුළ අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 320ක් සොයාගෙන තිබෙනවා. 
 
ජය රුසිතූ දෙවි නුවර ධීවර යාත්‍රාව පස් දෙනෙකුගෙන් සමන්විත ධීවරයින් පිරිසක් සමග පසුගිය 06 වැනිදා දෙවුන්දර ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබුණා. 
 
මෙම ධීවරයන් පස්දෙනා ද දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන්. 
 
මෙම යාත්‍රාව තුළ ගෝනි 13ක් තුළ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 320කට අධික ප්‍රමාණයක් තිබී තිබෙනවා. 
 
මෙම මත්ද්‍රව්‍ය තොගය හා ධීවරයාත්‍රා නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ද එක්ව සිටියා. 
 
මෙම භාණ්ඩ හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ආරම්භ කර තිබෙනවා

Search