කොතලාවල වෛද්‍ය පීඨය නැවත විවෘත කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කොතලාවල වෛද්‍ය පීඨය නැවත විවෘත කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වෛද්‍ය උපාධි පාඨමාලාව නතර කරන්න රජය තීරණය කර ඇති බවත් මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් අනුමත කරන ලද පාඨමාලාවක් බවත් මේ හරහා විදේශීය හා කැඩෙට් සිසුවන් 50ක්, අභ්‍යන්තර සිසුන් 100කට වාර්ෂිකව සිසු දූදරුවන් 150කට වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ලැබෙන බවත් මෙය නතර කිරීම නිසා අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසු දූදරුවන්ට ඇති අවස්ථා නැති කිරීමක් බවත් එය බරපතල වරදක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
 
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොතලාවල වෛද්‍ය පීඨය සදහා දේශීය සිසුන් බදවා ගැනීම නතර කිරීමට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
 
මේ වෛද්‍ය පාඨමාලාව නිසා අප රටට ඩොලර් උත්පාදනය වන බවත් අප රටේ වෛද්‍ය සිසුන්ට මේ උපාධි පාඨමාලාව හැදැරීමේ අවස්ථාව අහිමි කිරිම නිසා බරපතල හානිදායක දේවල් රැසක් සිදුවන බවත් මේ උපාධිය හදාරන්න අපේක්ෂා කරන සිසු දූදරුවන් ලක්ෂ 130ක් පමණ වැය කරන බවත් මෙය නතර කිරිම හරහා ලක්ෂ 400ක් 500ක් අතර ප්‍රමාණයක් විදේශ රටවලට වැය කර උපාධිය ගැනීමට සිදුවන බවත් මේ සදහා වියදම් ඩොලර්වලින් සිදු කිරිම නිසා අප රටේ රදවා ගත හැකි ඩොලර් ප්‍රමාණය ද අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
 
මේ වෛද්‍ය පාඨමාලාව හදාරන දූදරුවන් බහුතරයකට නැගෙනහිර, සබරගමුව, ඌව ආදී විශ්වවිද්‍යාවල නිදහස් අධ්‍යාපනය යටතේ වෛද්‍ය උපාධිය හදාරන්න අවස්ථාව ලැබුණත් දුරබැහැරකම නිසා කොතලාවල පැමිණෙන බවත් මේ නිසා මෙම විශ්වවිද්‍යාවලට අමතර සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල වරම් ලැබෙන බවත් කොතලාවල වෛද්‍ය පීඨය වසා දැමීම නිසා නිදහස් අධ්‍යාපනයේ දූදරුවන්ට ද අවස්ථා රැසක් අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 
කොතලාවල වෛද්‍ය පීඨය තුළ කටුබැද්ද වෛද්‍ය පීඨයේ සිසුන්ට ද පහසුකම් ගණනාවක් ලබා දෙන බවත් මේ වසා දැමීම නිසා ඒ පහසුකම් ද අහිමිවන බවත් අප කළ යුත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිසු දූදරුවන්ට අවස්ථා වැඩි කිරීම මිස අඩු කිරීම නොවන බවත් අප රටේ වෛද්‍යවරුන් 15000කට ආසන්න ප්‍රමාණයක හිඟයක් ඇති මොහොතක එයට විසඳුම් ලබා දිය යුත්තේ වෛද්‍ය පාඨමාලා අහිමි කර නොව වැඩි කිරීමෙන් වුවත් මේ රජය ඒ අවස්ථා ද අහිමි කරමින් යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
 
අප රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර යාවත්කාලීන කර නූතනවාදී කළ යුතු බවත් එම වෙන් කරන මුදල්වලින් නූතනවාදී අධ්‍යාපන වැඩපිළිවෙළකට ප්‍රවේශ විය යුතු බවත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න කියා කොතලාවල වෛද්‍ය පීඨය වසා දැමීම නොකළ යුතු බවත් මේ නිසා අප රටේ තරුණයන්ට ලැබිය යුතු අවස්ථා අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
 
රජය මේ වන විට යන්නේ වැරදි මාර්ගයේ බවත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා සේම වෙනත් අධ්‍යාපන අවස්ථා ද වැඩි කළ යුතු බවත් අවස්ථා වැඩිවන විට නිදහස් අධ්‍යාපනය තුළ ක්‍රියාත්මක වෛද්‍ය පාඨමාලාවලට ඇති අවකාශය වැඩි වන නිසා මේ වැරදි තීන්දුව නැවත හරවා ගන්නා ලෙසත් මෙය යුගයේ අවශ්‍යතාවක් බවත් දූදරුවන්ට ඇති අධ්‍යාපන අවස්ථා අහිමි කිරීම නොව ඒවා පුළුල් කළ යුතු බවත් යල්පැනගින ගතානුගතික න්‍යායන්වල සිරකරුවන් නොවී යුගයේ අවශ්‍යතා ගැන අවබෝධයක් ලබා ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
 
මේ පාඨමාලාව නැවත ලබා ගැනීමට විපක්ෂයට කළ හැකි උපරිම බලපෑම කරනවා සේම නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට වැඩි වැඩියෙන් මුදල් ප්‍රතිපාදන ලබා දී නිදහස් අධ්‍යාපනය නූතනවාදී කිරිමට ද කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය

Search