මහ මුහුදේ වැටලීම්වලින් කෝටි 2800ක කුඩු අල්ලයි

මහ මුහුදේ වැටලීම්වලින් කෝටි 2800ක කුඩු අල්ලයි

මුහුදු මාර්ග ඔස්සේ බහුදින ධීවර යාත්‍රාවල සඟවා මෙරටට රැගෙන එමින් තිබියදී මෙම වසර තුළ මෙතෙක් ගෙවුණු කාලය තුළ පමණක් මහ මුහුදේ කළ වැටලීම්වලින් රුපියල් කෝටි 2800කට අධික වටිනාකමක් ඇති හෙරොයින් සහ අයිස් ටොන් එකහමාරකට අධික ප්‍රමාණයක් බහුදින යාත්‍රා 04ක් සහ සැකකරුවන් 22ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රාජ්‍ය බුද්ධි සේවය සහ විදෙස් ඒජන්සි ඒකාබද්ධව සිදු කළ වැටලීම් මඟින් එම මත්ද්‍රව්‍ය තොග සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මෙම වර්ෂය තුළ මෙතෙක් සිදු කර ඇති වැටලීම් 04කදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ තොරතුරු සඳහන් කරයි.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 542කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1216කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වසරේ අප්‍රේල් 05 දින හෙරොයින් කිලෝ 191ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 671ක්, අප්‍රේල් 12 දින හෙරොයින් කිලෝ 77ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 42ක්, මැයි මස 28 දින හෙරොයින් කිලෝ 274ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 503ක් මෙසේ පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Search