කොළඹ ජාතික රෝහලේ බෙහෙතක් හිඟවීමෙන් අක්මා සහ වකුගඩු රෝගීන් අමාරුවේ

කොළඹ ජාතික රෝහලේ බෙහෙතක් හිඟවීමෙන් අක්මා සහ වකුගඩු රෝගීන් අමාරුවේ

අක්මා සහ වකුගඩු බද්ධ කළ රෝගීන්ට ලබා දෙන ටැක්‍රොලිමස් ඖෂධ මාත්‍රාව තීරණය කිරීම සඳහා කරන ටැක්‍රොලිමස් රුධිර පරීක්ෂණයට අවශ්‍ය රසායනිකයක් කොළඹ මහා රෝහලේ නොමැතිවීම හේතුවෙන් එම පරීක්ෂණ ඇණහිට තිබෙන බව වාර්තාවේ.එම පරීක්ෂණ මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර සිදු කරවා ගන්නා බව කොළඹ රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

බද්ධ කර තිබෙන වකුගඩුව හෝ අක්මාව හෝ ශරීරය ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීම සඳහා ලබා දෙන ටැක්‍රොලිස් ඖෂධය රුධිරයේ තිබෙන මට්ටම මැන බැලීම සඳහා ටැක්‍රොලිමස් රුධිර පරික්ෂණය සිදු කරනු ලබන බව ජාතික රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.

 


රෝගියකුගේ ටැක්‍රොලිමස් රුධිර පරික්ෂණ සාම්පලයක් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර වාර්තාවක් ලබා ගැනීමේදී සති දෙකක පමණ කාලයක් ගතවන බවත් එය රෝගීන්ට ගැටලුවක් බවත් රෝහල් ආරංචි මාර්ග පැවැසුවේය.


කොළඹ ජාතික රෝහලේ ටැක්‍රොලිමස් රුධිර පරීක්ෂණ කිරිම සඳහා අවශ්‍ය රසායන හිග වීමට ප්‍රධාන හේතුව සැපයුම්කරුවන් බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ටැක්‍රොලිමස් රුධිර පරික්ෂණය, රුධිරයේ තිබෙන ටැක්‍රොලිස් ඖෂධ මට්ටම් මැන බැලීම සඳහා අක්මා සහ වකුගඩු බද්ධ කළ රෝගීන්ට වෛද්‍ය නිර්දේශ මත අනිවාර්යයෙන් සිදු කළයුතු අත්‍යවශ්‍ය පරීක්ෂණයකි. අවයව බද්ධ කළ රෝගියාට ලබා දෙන ටැක්‍රොලිමස් ඖෂධ මාත්‍රාව එම පරීක්ෂණයේ ප්‍රතිඵල මත තීරණය කරනු ලබයි.


මේ පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් විමසූ අවස්ථාවේ එහි නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ටැක්‍රොලිස් රුධිර පරීක්ෂණය සිදු කෙරෙන බවත් ජාතික රෝහලේ එම පරික්ෂණය නොකෙරෙන අවස්ථාවල වෛද්‍ය පර්යේෂණ ආයතනය එම පරික්ෂණය සිදු කර දෙන බවත්ය.

 



කෙසේ නමුත් සාම්පල වැඩි ප්‍රමාණයක් ලැබුණහොත් වාර්තා ලබා දීමේදී සුළු ප්‍රමාදයක් විය හැකි නමුත් එය සති දෙකක් යැයි පැවැසිය නොහැකි බව ද එම නිලධාරියා පැවැසුවේය. ටැක්‍රොලිමස් රුධිර පරික්ෂණය කෙතරම් සාම්පල ප්‍රමාණයක් වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබෙන්නේ ද යන්න මේ අවස්ථාවේ පැවැසීය නොහැකි බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය. කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ සහ රාගම රෝහලේ අධ්‍ය ක්ෂ වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර මහතාගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර සිටියේ රාගම රෝහලේ එවැනි හිඟයක් තිබෙන බවට හෝ ටැක්‍රොලිස් රුධිර පරීක්ෂණයේ ප්‍රමාදයක් පිළිබඳව මෙතෙක් තමන්ට වාර්තාවී නොමැති බවත් අවශ්‍ය නම් ඒ පිළිබඳ තමන්ට විමසීමක් කළ හැකි බවත්ය.


මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියේ මහනුවර රෝහලේ ටැක්‍රොලිස් රුධිර පරීක්ෂණය සාමාන්‍ය පරිදි සිදුවන බවත් එම පරීක්ෂණ කර ගැනීමේ දී මහනුවර ජාතික රෝහලට පැමිණෙන රෝගීන් කිසිම අපහසුතාවකට මුහුණ නොදෙන බවත්ය.

 

 

Search