මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක් බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන බොරැල්ල පොලීසිය තහවුරු කර සිටියි.

 


වසර 12ක පමණ කාලයක් තිස්සේ අදාළ නිවසේ සේවයේ නිරතව සිටි මෙම කාන්තාව, සෝදා පිරිසිදු කරන ලද ඇඳුම් තොගයක් බිම් මහලේ සිට පළමු මහලට රැගෙන යාමට මෙම විදුලි සෝපානය භාවිත කරමින් සිටියදී අනතුරට මුහුණ පා තිබේ.

විදුලි සෝපානය ඉහළට ගමන් කරමින් තිබියදී ඇයගේ හිස කොටස ඉන් පිටතට යොමුවී ඇති අතර,
 

එම අවස්ථාවේදී එය පළමු මහලට අදාළ කොන්ක්‍රීට් ස්ලැබ් කොටස සහ සෝපානයේ දොර අතර සිරවී තිබේ. මෙලෙස හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඇයව කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද කැඳවා විශේෂ පරීක්ෂණයක් සිදුකර තිබේ. මියගිය කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් තහවුරු කළේය.