බස් ගාස්තු අඩුකිරීම 2.5% සිට 0.55%ට පල්ලම් බහී: අවම ගාස්තුවේ වෙනසක් නෑ

බස් ගාස්තු අඩුකිරීම 2.5% සිට 0.55%ට පල්ලම් බහී: අවම ගාස්තුවේ වෙනසක් නෑ

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී 2.5%කින් ගාස්තු අඩු වන බවට රජය කලින් පැවසුව ද ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික මිල සංශෝධනයේ ගැලපීමෙන් පසු බස් ගාස්තු අඩුවන්නේ 0.55%ක් යැයි ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි.

මෙම ගාස්තු අඩුවීම අනිද්දා (ජූලි 4) මධ්‍යම රාත්‍රියෙන් පසු ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අනුමැතිය දී ඇත.

ඒ අනුව, අවම ගාස්තුව වූ රුපියල් 27 සහ රුපියල් 35 හා 45 යන කිසිදු ගාස්තුවක් අඩු නොවේ.

රුපියල් 56 ගාස්තුව රුපියල් 55 දක්වා රුපියලකින් අඩු වන නමුත් රුපියල් 66 ගාස්තුව කිසිදු වෙනසක් නොවී රුපියල් 77 හා 87 යන ගාස්තු රුපියලකින් අඩු කර ඇත.

රුපියල් 90, 97, 104, 111 ගාස්තුවල වෙනසක් නොවෙද්දී රුපියල් 117 ගාස්තුව රුපියලකින් අඩු කර ඇත.

මේ ආදී වශයෙන් වූ ගාස්තු අවස්ථා 350ක් ඇති අතර එහි උපරිම ගාස්තුව වූ රුපියල් 2,170 අඩුවී ඇත්තේ රුපියල් 2,159 දක්වා රුපියල් 11කින් පමණි.

මෙම ගාස්තු අඩුවීම සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී, අධිසුඛෝපභෝගී හා අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම බස් රථ සේවාවලට අදාළ වන බව ද ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි.

මෙසේ අඩු කළ ගාස්තුවේ සහනය මගීන්ට ලබා නොදෙන බස් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ජාතික ගමනාගමන කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි

Search