වාහන ආනයනය ඉහලට : ඩොලර් සංචිත පහලට: භාණ්ඩාගාරය මහ බැංකුවට අනතුරු අඟවයි

වාහන ආනයනය ඉහලට : ඩොලර් සංචිත පහලට: භාණ්ඩාගාරය මහ බැංකුවට අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීම සඳහා වෙන් කළ ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලෙන්, මේ වසරේ මුල් මාස පහ තුළදී පමණක් ඩොලර් මිලියන 742 ක ණයවර ලිපි (LCs) විවෘත වී ඇති බවට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මහ බැංකුව වෙත අනතුරු අඟවා තිබේ.

වාහන ආනයනය කෙරෙහි පවතින මෙම අධික උනන්දුව රටේ ඩොලර් සංචිත කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බවට භාණ්ඩාගාරය අවධාරණය කරයි.

ණයවර ලිපි විවෘත කිරීම සහ ආනයන කටයුතු අපේක්ෂා කළාට වඩා වේගයෙන් සිදුවී ඇති බැවින්, ආනයන ප්‍රවණතා සමීපව අධ්‍යයනය කර කල්තියා අවශ්‍ය පිළියම් යොදන ලෙස භාණ්ඩාගාරය මහ බැංකුවට උපදෙස් දී තිබේ.

ඇමෙරිකානු ඩොලර් පිටතට ගලා යාම විදේශ විනිමය සංචිතවලට මෙන්ම විනිමය අනුපාතවලටද බරපතළ බලපෑමක් ඇති කළ හැකි බව එහිදී සඳහන් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයටද බලපෑම් ඇතිවිය හැකිය. ඒ අනුව, වහාම ඊට අදාළ පූර්ව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස භාණ්ඩාගාරය මහ බැංකුවට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

දිගු කලක් ක්‍රියාත්මක වූ වාහන ආනයන තහනම මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉවත් කරන ලදී. එතැන් පටන් මේ වන විට වාහන 18,000කට අධික ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති අතර, එමගින් රුපියල් බිලියන 220ක සැලකිය යුතු බදු ආදායමක් උපයා ඇත.

වාහන ආනයනයෙන් ලැබුණු මෙම ආදායම මේ වසරේ රේගු බදු ලෙස රුපියල් ට්‍රිලියනයක සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබේ. මේ වසර සඳහා රේගු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2.1ක් වන අතර, වාහන ආනයනයෙන් ලැබෙන ආදායම එම ඉලක්කය සපුරා ගැනීමට විශාල පිටිවහලක් වී තිබේ.

කෙසේ වෙතත්, බදු ආදායම් ඉහළ නැංවීමේ මෙම වාසියත් සමඟම, විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට බාධා නොවන බවට සහතික වීම භාණ්ඩාගාරය සහ මහ බැංකුව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වී ඇත.

Search