ඩිජිටල් හැඳුනුම්පත හරහා මෙරට සියලු දත්ත ඉන්දියාවට ලබාගැනීමේ අවදානමක්!

ඩිජිටල් හැඳුනුම්පත හරහා මෙරට සියලු දත්ත ඉන්දියාවට ලබාගැනීමේ අවදානමක්!

තොරතුරු තාක්ෂණ ආයතනය (ICTA) ඇතුළු ආයතන රටේ තිබියදී ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම විදෙස් රටකට ලබාදීමෙන් මෙරටේ සියලු දත්ත එම රටට ලබාගැනීමේ හැකියාවක් ඇති බව එම ක්ෂේත්‍රයේ නිරත විද්වත්හු පවසති.

විදෙස් රටක් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් අනුව ඉතිහාසයේ නොවුණු ආකාරයට එම රටේ පුවත්පත්වල සහ වෙබ් අඩවිවල පමණක් ශ්‍රී ලංකාවට ඩිජිටල් හැඳුනුම්පත සකසා දීම සඳහා එම රටේ සමාගම්වලට පමණක් ඉදිරිපත් වීමට හැකි ටෙන්ඩරය 2025 ජුනි 30 වැනිදා පළකර ඇතැයි ද ඔවුහු කියා සිටිති.

මෙහිදී සියලුම මෘදුකාංග සහ ඊට සම්බන්ධ සියලුම භාණ්ඩ සහ සේවාවන් එම රටේ සමාගම්වලින් ලබාගත යුතු බවත් වසරක් තුළ එම ක්‍රියාවලිය නිමා කළ යුතු බවත් මේ සඳහා ඔවුන්ට ශ්‍රී ලාංකික සමාගමක් සම්බන්ධ කරගත හැකි බවත් එහි සඳහන් වේ. එහෙත් කිසිදු හේතුවකින් ලාංකික සමාගමට මෙහි අයිතිවාසිකමක් නොමැති අතර ඔවුන්ට සියයට පනස් එකක (51%) අයිතියක් ලබාගත නොහැක. එම රටේ සමාගමට සියයට පනස් එකක (51%) හෝ ඊට වැඩි ප්‍රතිශතයක් තිබිය යුතු බව එහි සඳහන් වන බව ද මෙරට විද්වතුන් අවධාරණය කර සිටිති.

මෙහි ඉතාමත්ම බැරෑරුම් කාරණය වන්නේ මෙරට දත්ත කිසිදු ලෙසකින් එම රටට නොයන බව කිවූව ද යම් ලෙසකින් ශ්‍රී ලාංකික දත්ත එම රට වෙත යෑමේ අවදානම ඉහත කරුණු මත පවතින බව ඔවුහු පෙන්වා දෙති. එම විදේශීය රටට අවශ්‍ය නම් අනාගතයේදී මෙරට සියලු දත්ත මෙමගින් පහසුවෙන් ලබාගත හැකිවනු ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

මෙවැනි මෘදුකාංගයක් විදෙස් රටකින් ලබාගැනීම නොකළ යුතු බවත් අවශ්‍ය නම් තොරතුරු තාක්ෂණ ආයතනය හෝ සුදුසු ආයතනයක් ටෙන්ඩර් කැඳවා පළපුරුදු ආයතනයක් රට තුළින්ම තෝරා ගැනීමෙන් රටේත් සමාජයේත් තොරතුරුවල රහස්‍ය භාවය මෙරට තුළම තබා ගැනීමට රජයේ ආයතනවලට හැකියාව ඇති බවද මෙරට විද්වත්හු පවසති.

ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම වෙනත් රටකට ලබාදීමට යෑමෙන් රටට සිදුවන අහිතකර තත්ත්වය පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ද මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දක්වා තිබුණි

Search