වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට නිසි ආරක්ෂාවක් සලසා දීමට කටයුතු නොකිරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සජිත් ප්‍රේමදාස මහතා,
“අද රටත් සමජයත් ඝාතන සංස්කෘතියකට යොමු වෙමින් තිබෙන අවස්ථාවක මේ ඝාතන රැල්ල රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන කාරණය පිළිගන්නේ නැද්ද? ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන එක රජය බැහැර කරනවා. යුක්තිය පසිඳලීම ප්රජාතන්ත්රවාදී රටක තිබිය යුතු වෙනවා.
මහජන නියෝජිතයෙක් තමන් පත්කළ ජනතාවට සේවය කරන්න නොහැකි වාතාවරණයක් අද නිර්මාණය වී තිබෙනවා. ලසන්ත වික්‍රමසේකර කියන්නේ 66.3%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබෙන කෙනෙක්. විවිධ අභියෝග මැද විපක්ෂයේ සියලු දෙනා එක්ව මැතිවරණයේදී නායකත්වය දී තිබෙනවා. ජනතාවට සේවය කරන්න යන අවස්ථාවේ වෙඩි තබා මරා දමනවා.
මේ ඝාතන රැල්ල නිර්මාණය වීම දෙස අවධානය යොමු විය යුතු වෙනවා. මේ වසරේ ඔක්තෝබර් 22 දක්වා වෙඩි තැබීම් 101ක් හා මරණ 52ක් වාර්තා වෙනවා. තුවාල ලැබීම් 56ක් වෙනවා. මේකද මේ රජයේ පුනරුදය වන්නේ.
වැලිගම සභාපතිවරයා මේ වසරේ අගෝස්තු මාසයේදී පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ජීවිත තර්ජන තිබෙන බවට සඳහන් කර තිබෙනවා. අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ සභාවට යන අවස්ථාවක ඝාතනය කරන්න සැලසුමක් තිබෙන බවට පොලිස්පතිවරයාට ලියා තිබෙනවා. සුදුසු ආරක්ෂාවක් ලබාදෙන්න කියා ඉල්ලා තිබෙනවා.
මෙවැනි තත්ත්වයක් තිබිය දී ඔහුට නිසි ආරක්ෂාව ලබා දෙන්න රජය අපොහොසත් වුණේ ඇයි? මෙච්චර මේ රටේ පාතාල කල්ලි, ඝාතකයන් මර්දනයට රජය සමත්ව තිබෙනවා නම්, සභාවක සභාපතිවරයෙක්ට ජනතාවට සේවය කරන්න නිදහසක් නැද්ද? මේකද පොහොසත් රට සහ ලස්සන ජීවිතය කියන්නේ. නිර්මාණය වී තිබෙන්නේ ඝාතන රැල්ලක් සහ ම්ලේච්ඡ සංස්කෘතියක්. මෙවැනි ලිපියකින් ඉල්ලීම් කර තිබෙන අවස්ථාවක ආරක්ෂාව නොදුන්නේ ඇයි කියා අපි ප්‍රශ්න කරනවා.
මේ රජය සභාපතිවරයාගේ ආරක්ෂාව සලස්වන්නට කටයුතු නොකිරීමේ වගකීම භාරගත යුතු වෙනවා. පැහැදිලිවම රජය වගකිව යුතු වෙනවා. මේ රජය පාතාල කල්ලි හරහා මිනීමරු සංස්කෘතිය ප්‍රවර්ධනය වීමට ඉඩ සලසා තිබෙනවා. එහි වගකීම රජය භාරගත යුතු වෙනවා.
අපි කිසි දිනෙක පාතාල දේශපාලනය, කුඩු දේශපාලනය අනුමත කරන්නේ නැහැ. නමුත් අද වෙනම මඩ බළකායක් නිර්මාණය කරමින් අපේ දේශපාලනය කරන්නේ මේ කල්ලි හරහා කියා ඇතැමුන් කරනවා. ඒ දේශපාලනය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ මිනීමරු දේශපාලනය අවසන් කරන්න ගත හැකි උපරිම ශක්ති යොදා ම්ලේච්ඡත්වය වපුරන කණ්ඩායම් පරාජය කරන්න අපේ සහාය ලබාදෙනවා. නමුත් මේ රජයට පැන යන්න බැහැ සභාපතිවරයාගේ මරණයට. ඍජුවම වගකියන්න ඕනෑ.
මේ රටේ ක්‍රියාත්මක වන කල්ලි මර්දනය කරන්න අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් අපේ උපරිම ශක්තිය ලබාදෙනවා. ඒ කල්ලි මර්දනය කරන මුවාවෙන් විපක්ෂය මර්දනය කිරීමට දරන උත්සාහ හෙළා දකිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ ඉල්ලීමට කිසිදු පිළිතුරක් නැහැ.
අවසානයේ ජීවිත පරිත්‍යාග කරන්න ඕනෑ ද? එම ඉල්ලීම් ඉටුකරන්න. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මිලියන 22ක ජනතාව වෙනුවෙන්. පළමුව ජනතාවට ආරක්ෂාව සලසාදිය යුතු වෙනවා. ඒ අයගේ ඉල්ලීම් ඉටුකරන්න අපි බැඳී ඉන්නවා. මහජන නියෝජිතයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන රජය ප්‍රකාශ කළ යුතු වෙනවා.” යැයි පැවසීය